Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
13 verses
1දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.
2යමෙක් තමා යමක් දන්නේයයි සිතයි නම්, ඔහු දැනගන්ට ඕනෑ ලෙස තවම දැනගෙන නැත;
3නුමුත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේමකෙරේනම්, ඔහු උන්වහන්සේ විසින් දන්නාලද්දේය.
4ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.
5මක්නිසාද බොහෝ දෙවිවරුන්ද බොහෝ ස්වාමිවරුන්ද ඇත්තාක්මෙන්, ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ දෙවිවරුය කියන තැනැත්තන් සිටින නුමුත්,
6අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය, අපිත් උන්වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමීන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙනය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය.
7එසේවී නුමුත් මේ දැනගැන්ම සියලු මනුෂ්‍යයන් තුළ නැත. සමහරු මේ දක්වා දේවතාවා විද්‍යමාන කෙනෙක්යයි සිතන්ට පුරුදුවූයෙන්, දේවතා පිදවිල්ලක් කොට කති; දුර්වලව තිබෙන ඔවුන්ගේ හෘදයසාක්ෂියද කිලුටුවේ.
8නුමුත් කෑම නිසා දෙවියන්වහන්සේට අප වඩා ප්‍රිය අය වෙන්නේ නැත. නොකෑවාට අප පහත් වෙන්නේවත් කෑවාට අප උතුම් වෙන්නේවත් නැත.
9නුමුත් නුඹලාගේ මේ නිදහස යම් අන්දමකින් දුර්වලයන්ට බාධා හේතුවක් නොවන ලෙස බලාගන්න.
10මක්නිසාද දැනුම ඇත්තාවූ නුඹ දේවාලයක කන්ට හිඳගන ඉන්නවා යමෙක් දුටුවොත්, ඔහු දුර්වල නම්, දේවතාවන්ට පුදනලද දේ කන්ට ඔහුගේ හෘදය සාක්ෂිය ධෛර්ය නොවන්නේද?
11මෙසේ ඒ සහෝදරයා නිසා ක්‍රිස්තුස්වහන්සේ මළ නුමුත්, දුර්වලවූ ඔහු නුඹේ දැනගැන්මෙන් විනාශවෙයි.
12මෙසේ නුඹලා සහෝදරයන්ට විරුද්ධව පව්කරමින් ඔවුන්ගේ දුර්වලවූ හෘදයසාක්ෂිය තුවාල කරන විට, ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධව පව්කරන්නෝය.
13එබැවින් කෑම මාගේ සහෝදරයාට බාධාවක් වේ නම්, මාගේ සහෝදරයාට බාධා නොපැමිණෙන පිණිස, කිසි කලක මාංස නොකන්නෙමි.