Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1මම නිදහස් කෙනෙක් නොවෙම්ද? මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ නුදුටිම්ද? ස්වාමීන්වහන්සේ තුළ නුඹලා මාගේ කර්මාන්තය නොවවුද?
2මම අන්‍යයන්ට ප්‍රේරිතයෙක් නොවෙතත් නුඹලාට නම් ප්‍රේරිතයෙක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකමේ මුද්‍රාව නම් නුඹලාය.
3මා විචාරන්නන්ට මාගේ උත්තරය නම් මේකය.
4කන්ටත් බොන්ටත් අපට අවසර නැද්ද?
5අනික් ප්‍රේරිතයන්ද ස්වාමීන්වහන්සේගේ සහෝදරයන්ද කේපස්ද කරන්නාක්මෙන් ඇදහිලිවන්ත භාර්යාවක් කැඳවාගෙන හැසිරෙන්ට අපටත් අවසර නැද්ද?
6නොහොත් වැඩ නොකර සිටින්ට අවසර නැත්තේ මටත් බාර්ණබස්ටත් පමණක්ද?
7කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද?
8මා මේ කාරණා කියන්නේ මනුෂ්‍ය ප්‍රකාරයෙන්ද? නොහොත් ව්‍යවස්ථාවත් එසේම නොකියාද?
9මක්නිසාද: ගොනා ගොයම් පාගන විට උගේ කට නොබඳුවයි මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. දෙවියන්වහන්සේ සලකන්නේ ගවයන් ගැනද?
10නොහොත් එය මුළුමනින්ම අප නිසා කියනසේක්ද? එසේය, අප නිසා එය ලියනලද්දේය. හාන්නා බලාපොරොත්තුවෙන් හාන්ට ඕනෑ නිසාද, පාගන්නා කොටස බලාපොරොත්තුවෙන් පාගන්ට ඕනෑ නිසාද එසේ ලියනලද්දේය.
11අපි නුඹලාට ආත්මික දේ වපුළෙමු නම්, නුඹලාගේ මාංසික දේ කැපීම මහත් දෙයක්ද?
12අන්‍යයෝ නුඹලා කෙරෙහි මේ බලයට හවුල්වෙත් නම් ඊට වඩා අපට යුතු නොවේද? එසේවී නුමුත් අපි මේ බලය නොපවත්වා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කිසි බාධාවක් නොකරන පිණිස සියල්ල දරාගනිමුව.
13ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?
14එසේම ශුභාරංචිය ප්‍රකාශකරන්නන් විසින් ශුභාරංචිය කරණකොටගෙන ජීවිකාව ලබන්ට ස්වාමීන්වහන්සේ නියෝගකළසේක.
15නුමුත් මා මේ දේවලින් කිසිවක් ව්‍යවහාරකළේ නැත. මේ කාරණා මා ලියන්නේ මට එසේ ලබාගන්නා අදහසින් නොවේ. යමෙකු විසින් මාගේ පාරට්ටුව හිස්කිරීමට වඩා මරණය මට හොඳය.
16මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.
17මක්නිසාද මේක මාගේ කැමැත්තෙන්ම කරම් නම්, මට විපාකයක් තිබේ. කැමැත්තක් නැතුව කළත් ගබඩාකාරකමක් ම��� භාරදී තිබේ.
18එසේවී නම් මාගේ විපාකය කිමෙක්ද? ඒ විපාකය නම් ශුභාරංචිය දේශනාකරන කල මට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකොට ශුභාරංචිය නොමිලයේ පිහිටුවීමය.
19මක්නිසාද මම සියල්ලන්ගෙන් නිදහස්ව සිටියෙම් නුමුත් වැඩිදෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ට මා දාසයෙක් කරගතිමි.
20යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි.
21මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැතිකෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.
22දුර්වලයන් දිනාගන්නා පිණිස දුර්වලයන්ට දුර්වලයෙක් වුණෙමි. සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි.
23තවද ශුභාරංචියේ පංගුකාරයෙක් වෙන පිණිස ශුභාරංචිය උදෙසා සියල්ල කරමි.
24දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවන්න.
25දිනන පිණිස වීර්යකරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නාවූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහි නොදිරන එකක් ලබාගන්නා පිණිසය.
26එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරෙදන්නාක්මෙන් නොවේය.
27නුමුත් මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.