Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට ඔබ ආලේපකළසේක් නොවේදැයි කීය.
2ඔබ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝය; ඔවුන් ඔබට කථාකොට-ඔබ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. ඔබේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් ඔබ සැම ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.
3එවිට ඔබ එතැනින් තවත් දුර ගොස් තාබොර්හි අලෝන වෘක්ෂය ළඟට පැමින්නාම, එක්කෙනෙක් එළුපැටියන් තුන්දෙනෙක්ද එක්කෙනෙක් රොටි තුනක්ද එක්කෙනෙක් මුද්‍රිකපාන භාජනයක්ද රැගෙන දෙවියන්වහන්සේ ළඟට බෙතෙල්ට යන මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔබට සම්බවන්නෝය.
4ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත; ඒවා ඔවුන් අතින් පිළිගන්න.
5ඊට පසුව ඔබ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. ඔබ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා ඔබට සම්බවන්නේය.
6එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔබ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, ඔබ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය.
7මේ ලකුණු ඔබට පැමිණි කල ඔබ ප්‍රස්තාවේ හැටියට ක්‍රියාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක.
8ඔබ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් ඔබ ළඟට එන්නෙමි. මා ඔබ ළඟට ඇවිත් ඔබ කළයුතු දේ ඔබට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.
9තවද ඔහු සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන්වහන්සේ ඔහුට අමුතු සිතක් දුන්සේක. ඒ සියලු ලකුණු ඒ දවසේදී සිද්ධවුණේය.
10ඔවුන් ඒ හෙල ළඟට පැමිණි කල, බලව, ප්‍රොපේත කණ්ඩායමක් ඔහුට සම්බවිය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි ආනුභාසම්පන්නව පැමිණියේය, එවිට ඔහු ඔවුන් අතරේ ධර්මවාක්‍ය පැවසුවේය.
11පළමු ඔහු ඇඳින සිටි හැමදෙනාම ඔහු ප්‍රොපේතවරුන් සමඟ ධර්මවාක්‍ය පවසනවා දුටු කල ඔවුනොවුන්ට කථාකොට: කීෂ්ගේ ���ුත්රයාට මේ මක්වෙලාද? සාවුලුත් ප්‍රොපේතවරුන් සමඟ සිටිනවාදැයි කීවෝය.
12ඒ ස්ථානයේ එක්කෙනෙක් උත්තරදෙමින්: ඔවුන්ගේ පියා කවුදැයි කීවේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේ සිටින්නේද යන කීමක් හටගත්තේය.
13ඔහු ධර්මවාක්‍ය පවසා නිමවූ කල උස් තැනට ආයේය.
14සාවුල්ගේ බාප්පා: ඔබ සැම කොතැනට ගියාදැයි ඔහුගෙන්ද ඔහුගේ වැඩකාරයන්ගෙන්ද ඇසුවේය. අපි කොටළුවන් සොයන්ට ගියෙමුව. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට පැමුණුණෙමුයයි ඔහු කීවේය.
15සාමුවෙල් ඔබ සැමට කීවේ මොකද කියා මට කියන්නැයි සාවුල්ගේ බාප්පා කීය.
16සාවුල්ද: කොටළුවන් සම්බවුණ බව ඔහු අපට පැහැදිලි ලෙස දැන්නුවේයයි තමාගේ බාප්පාට කීවේය. නුමුත් රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත.
17සාමුවෙල් ස්වාමීන්වහන්සේ වෙතට මිශ්පාට සෙනඟ රැස්කරවා,
18ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම ඉශ්රායෙල් මිසරයෙන් ගෙනැවිත් මිසරවරුන්ගේ අතින්ද ඔබ සැමට පීඩාකළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන්ද ඔබ සැම ගළවාගතිමි.
19එහෙත් ඔබ සැමගේ සියලු විපත්තිවලින්ද පීඩාවලින්ද ඔබ සැම ගැළෙවූ ඔබ සැමගේ දෙවියන්වහන්සේ ඔබ සැම අද එපාකර: රජකෙනෙකු අප කෙරෙහි පත්කරන්ට ඕනෑයයි උන්වහන්සේට කීවහුය. එබැවින් දැන් ඔබ සැමගේ ගෝත්‍ර හා දහස් ගණන් ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කියනසේකැයි කීවේය.
20මෙසේ සාමුවෙල් සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ළංකෙරෙවු විට බෙන්යමින් ගෝත්‍රය ගන්නාලද්දේය.
21බෙන්යමින් ගෝත්‍රය පවුල් වශයෙන් ළංකෙරෙවු විට මට්රීගේ පවුල ගන්නා ලද්දේය. කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද ගන්නාලද්දේය; නුමුත් ඔවුන් ඔහු සෙවූ විට ඔහු සම්බවුණේ නැත.
22එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.
23ඔව්හු දුවගොස් ඔහු එතැනින් ගෙනාවෝය; ඔහු සෙනඟ අතරේ සිටි කල උරඉස් පටන් ඉහළට හැමදෙනාටම වඩා උස්ව සිටියේය.
24සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව ඔබ සැමට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.
25එවිට සාමුවෙල් රජකමේ විධිය සෙනඟට කියාදී, ඒක පොතෙහි ලියා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබුවේය. සාමුවෙල් මුළු සෙනඟ හරිනුයේ, එකිනෙකා තම තමාගේ ගෙදරට යන්ට හැරියේය.
26සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය; දෙවියන්වහන්සේ විසින් සිත පොළොඹවනලද සේනාවද ඔහු සමඟ ගියාය.
27නුමුත් සමහර දුර්ජනයෝ. කථාකොට: මේ මනුෂ්‍යයා අප ගළවන්නේ කොහොමදැයි කියා ඔහු සුළුකොට සිතා ඔහුට කිසි තෑග්ගක් නොගෙනාවෝය. නුමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය.