Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය.
2අම්මොනිය නාහාෂ්ද: ඔබ සැම සියල්ලන්ගේ දකුණු ඇස් උගුලාදමා, එයින් සියලු ඉශ්රායෙල්වරුන් පිටට නින්දාවක් පමුණුවන්ට මට ඉඩදුන්නොත්, ඔබ සැම සමඟ ගිවිසුමක් කරන්නෙමියි ඔවුන්ට කීවේය.
3යාබෙෂ්හි වැඩිමහල්ලෝද: අප විසින් සියලු ඉශ්රායෙල් පළාත්වලට පණිවිඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුනමැනවි. එවිට අප ගළවන්ට කිසිවෙක් නැත්නම් ඔබ වෙතට පිටතට එන්නෙමුයයි ඔහුට කීවෝය.
4එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ.
5ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය.
6සාවුල් මේ වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය.
7ඔහු ගොන් බානක් ගෙන උන් කෑලිවලට කපා: සාවුල්ද සාමුවෙල්ද පස්සේ පිටත්ව නොඑන යමෙක් ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේම කරනු ලැබේය කියා ඒවා පණිවිඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය. සෙනඟ පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පහළවී ඔව්හු එක්කෙනෙකු මෙන් පිටත්ව ආවෝය.
8ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යුදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය.
9එවිට ආවාවූ පණිවිඩකාරයන්ට ඔව්හු කථාකොට: හෙට අව්ව තදවෙන වේලාවට ඔබ සැමට ගැළවීම ලැබේය කියා යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැයි කීවෝය. පණිවිඩකාරයෝ ගොස් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට දැන්නුවෝය; ඔව්හුද ප්‍රීතිවුණෝය,
10එබැවින් යාබෙෂ්හි මනුෂ්‍යයෝ: හෙට අපි ඔබ සැම ළඟට එන්නෙමුව, එවිට ඔබ සැමට හොඳව පෙනෙන සියල්ලේ හැටියට අපට කරන්ට ඔබ සැමට පුළුවනැයි කීවෝය.
11පසුවදා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේය; ඔව්හු එළිවන සාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට පැමිණ ඉර මුදුන් වේලාව දක්වා අම්මොනිවරුන්ට පහර දුන්නෝය. තවද දෙදෙනෙක් එක තැනක නොසිටින හැටියට ඉතිරිවුණ අය විසුරුවනු ලැබූහ.
12සෙනඟ සාමුවෙල්ට කථාකොට: සාවුල් අප කෙරෙහි රජකම්කරන්ටදැයි කීවේ කවුද? ඒ මනුෂ්‍යයන් මරණ පිණිස ඔවුන් ගෙනෙන්නැයි කීවෝය.
13සාවුල්ද: අද දවසේ කිසිවෙක් මරණයට පත්කරනු නොලැබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඉශ්රායෙල්හි ගැළවීමක් ඉෂ්ටකළසේකැයි කීවේය.
14එවිට සාමුවෙල් සෙනඟට කථාකොට: එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහිදී රජකම නැවත ස්ථිරකරගනිමුයයි කීවේය.
15මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.