Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
21 verses
1සාමුවෙල් නම් ළමයා ඒලී ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය. ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ වචනය දුර්ලභවිය; දර්ශන බොහොමයක්ද නොවීය.
2ඒ කාලයේ ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන ලෙස අඳුරුවෙන්ට පටන්ගෙන තිබුණේය.
3එකල ඒලී තමාගේ ස්ථානයෙහි සැතපෙද්දීත්, දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිබුණාවූ ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාමුවෙල් නිදාඉඳිද්දීත්, දෙවියන්වහන්සේගේ පහන නිවෙන්ට පළමුවෙන්,
4ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට හඬගැසූසේක.
5ඔහු: මම මෙහියයි කියා, ඒලී ළඟට දිවගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. ඔහුද: මම හඬනොගැසීමි; නැවත නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය.
6ස්වාමීන්වහන්සේ නැවතත්: සාමුවෙල් කියා හඬගැසූසේක. සාමුවෙල් නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. මාගේ පුත්රය, මම හඬනොගැසීමි; නැවතත් නිදාගන්නැයි ඔහු කීවේය.
7සාමුවෙල් ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේ නොහැඳින්නේය, ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහුට එළිදරව්නොවීය.
8ස්වාමීන්වහන්සේ තුන්වෙනි වරත් නැවත සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. එවිට ස්වාමීන්වහන්සේ ළමයාට හඬගසන බව ඒලී දැනගත්තේය.
9එබැවින් ඒලී සාමුවෙල්ට කථාකොට: ඔබ ගොස් නිදාගන්න. ඔබට හඬගැසුවොත්-ස්වාමීන්වහන්ස, කථාකළමැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවාය කියා කියන්නැයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ ස්ථානයෙහි නිදාගත්තේය.
10ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය.
11ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මෙන්න, මම ඉශ්රායෙල්හි කාරණයක් කරන්නෙමි, ඒක අසන සියල්ලන්ගේ කන් දෙක ලෙළදෙන්නේය.
12මා විසින් ඒලීගේ වංශය ගැන කී සියල්ලම මුල පටන් අග දක්වා ඒ දවසේදී ඒලීට විරුද්ධව ඉෂ්ටකරන්නෙමි.
13ඔහුගේ පුත්රයන් තමුන් පිටට ශාපයක් පමුණුවාගන්න බව ඔහු දැනගනත් ඔවුන් නොවැලැක්වූ අපරාධය නිසා මම ඔහුගේ වංශය සෑමකල්ම විනිශ්චයකරන්නෙමියි ඔහුට දැන්වීමි.
14එබැවින් ඒලීගේ වංශයේ අපරාධය පූජා වෙන්වත් පඬුරෙන්වත් කිසිකලක පහකරනු නොලබන්නේය කියා ඒලීගේ වංශයට මා දිවුරා තිබේයයි කීසේක.
15සාමුවෙල් පහන්වෙන තුරු නිදාහිඳ, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරවල් ඇරියේය. නුමුත් සාමුවෙල් දර්ශනය ඒලීට දන්වන්ට භයව සිටියේය.
16එවිට ඒලී: මාගේ පුත්රය, සාමුවෙල්යයි කියා සාමුවෙල්ට හඬගැසුවේය. ඔහුද: මම මෙහියයි කීවේය.
17එවිට ඔහු: ස්වාමීන්වහන්සේ ඔබට කී කාරණය මොකද? ඒක මාගෙන් නොසඟවන්න. උන්වහන්සේ ඔබට කී සියලු දෙයින් ඔබ යමක් මාගෙන් සඟවන්නෙහිනම් දෙවියන්වහන්සේ ඔබට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වයි කීවේය.
18සාමුවෙල් කිසිවක් නොසඟවා ඒ සියල්ලම ඔහුට කීවේය. එවිට ඔහු: උන්වහන්සේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේට යහපත්ව පෙනෙන හැටියට කරනසේක්වයි කීවේය.
19සාමුවෙල් වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ වචනවලින් එකක්වත් සිස්වෙන්ට ඉඩ නුදුන්සේක.
20සාමුවෙල් ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘ කෙනෙකු හැටියට ස්ථිරකරනලද බව දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරු දැනගත්තෝය.
21ස්වාමීන්වහන්සේ ෂීලෝහිදී නැවතත් පෙනුණුසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනයෙන් ෂීලෝහි සාමුවෙල්ට එළිදරව්වුණසේක.