Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.
2පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව සටනට සැරසී යුද්ධය පැතිර ගිය විට, ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙහි පරාජය වූහ. ඔව්හු යුද භූමියෙහි සේනාවෙන් මනුෂ්‍යයන් හාරදාහක් පමණ මැරුවෝය.
3සෙනඟ කඳවුරට ආ කල ඉශ්රායෙල් වැඩිමහල්ලෝ කථාකොට: ස්වාමීන්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියෙහි අප විසුරුවාදැමුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස අපි ඒක ෂීලෝවෙන් ගෙන්වාගනිමුයයි කීවෝය.
4ඒ හැටියට සෙනඟ ෂීලෝට මිනිසුන් යවා කෙරුබ් පිට වැඩහිඳින, සේනාවල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන්වා ගත්තෝය. හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා එහි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් සමඟ සිටියෝය.
5ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.
6පිලිස්තිවරු ඒ ඝෝෂාවේ ශබ්දය අසා: හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ තිබෙන මේ මහත් ඝෝෂා ශබ්දය කිමෙක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය කඳවුරට පැමිණි බව ඔව්හු දැනගත්තෝය.
7එවිට පිලිස්තිවරු භයවුණෝය, මක්නිසාද: දෙවියන්වහන්සේ කඳවුරට වැඩියසේකැයි ඔව්හු කීවෝය. ඔව්හු කථාකොට: අපට දුක්වේ! මක්නිසාද මෙබඳු දෙයක් මීට ප්‍රථම නොවීය.
8අපට දුක්වේ! මේ බලවන්ත දෙවිවරුන්ගේ අතින් අප ගළවන්නේ කවුද? මේ වනාහි කාන්තාරයේදී මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහරදුන් දෙවිවරුය.
9පිලිස්තිවරුනි, ශක්තිමත්ව පුරුෂයන්මෙන් සිටින්න, හෙබ්‍රෙව්වරුන් ඔබ සැමට මෙහෙකරුවන් වූ ලෙස ඔබ සැම ඔවුන්ට මෙහෙකරුවන් නොවන පිණිස පුරුෂයන් මෙන් සිට සටන්කරන්නැයි කීවෝය.
10පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.
11දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණේය; ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මැරුම්කෑවෝය.
12බෙන්යමින් මනුෂ්‍යයෙක් සේනාවෙන් දුවගොස්, තමාගේ ඇඳුම් ඉරාගන, හිසේ පස් දමාගන, ඒ දවසේ ෂීලෝට ආයේය.
13ඔහු එන කොට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයේ හිඳගන බලා උන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන ඔහුගේ හිත ගැහි ගැහී තිබුණේය. ඒ මනුෂ්‍යයා නුවරට ඇවිත් එපවත් කී කල නුවර වැසි සියල්ලෝ මොරගැසුවෝය.
14ඒලී ඒ මොරගැසීමේ ශබ්දය අසා: අර කෝලාහල ශබ්දය කිමෙක්දැයි ඇසීය. ඒ මනුෂ්‍යයා ඉක්මනින් ඇවිත් ඒලීට දැන්නුවේය.
15ඒලී වනාහි අනූ අට අවුරුද්දක් වයස්ව සිටියේය; ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.
16ඒ මනුෂ්‍යයා කථාකොට: සේනාවේ සිට ආ තැනැත්තා මමය, අද සේනාවේ සිට පලා ආමියි ඒලීට කීවේය. ඔහුද: මාගේ පුත්‍රය, එහි සිද්ධවුණේ කිමෙක්දැයි ඇසුවේය.
17පණිවිඩකාරයා උත්තර දෙමින්: ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය, සෙනඟ අතරේ මහත් නාස්තියක්ද වුණේය, ඔබගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මළෝය, දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණායයි කීවේය.
18ඔහු දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන සඳහන්කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේය. මක්නිසාද ඔහු මහලු මනුෂ්‍යයෙක්ව බරව සිටියේය. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්රායෙල් විනිශ්චයකෙළේය.
19ඔහුගේ ලේලි වන පීනෙහාස්ගේ භාර්යාව ගර්භිණීව බිහිකරන්ට ළංව සිටියාය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ බවත් ඇගේ මාමණ්ඩියද පුරුෂයාද මැරුණු බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනා හටගෙන නැබුරුවී බිහිකළාය.
20ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කථාකොට: භයනොවන්න; ඔබ පුත්‍රයෙකු බිහිකළායයි ඈට කීවෝය. නුමුත් ඈ උත්තර දුන්නේවත් සැලකුවේවත් නැත.
21දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ නිසාද ඇගේ මාමණ්ඩියත් පුරුෂයාත් නිසාද ඈ: ඉශ්රායෙල් කෙරෙන් තේජස පහව ගියේය කියා දරුවාට ඊකාබොද්4:21 එනම්, තේජස පහව ගියේය. යන නම තැබුවාය.
22ඕතොමෝ: දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ හෙයින් තේජස ඉශ්රායෙල් කෙරෙන් පහව ගියේයයි කීවාය.