Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1ආසාගේ රජකම්කිරීමේ තිස්හවෙනි අවුරුද්දේදී ඉශ්රායෙල් රජවූ බයෙෂා රජ යුදාට විරුද්ධව ගොස් යුදාහි රජවූ ආසා වෙතට කිසිවෙකුට යන්ට එන්ට ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේය.
2එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහයේද රජගෙයිද ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසයකළාවූ සිරියේ රජවූ බෙන්හදද්ට ඒවා යවමින්:
3මාගේ පියාද ඔබගේ පියාද අතරේ තිබුණාක් මෙන් මා සහ ඔබ අතරේද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි; ඉශ්රායෙල්හි රජවූ බයෙෂා මා වෙතින් අහක්ව යන පිණිස ඇවිත් ඔබ ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩකළ මැනවැයි කියා හැරියේය.
4එවිට බෙන්හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නුවරවලට විරුද්ධව යැවීය; ඔව්හු ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-මයිම්ටත් නප්තලීහි සියලු ගබඩා නුවරවලටත් පහර දුන්නෝය.
5බයෙෂා ඒ ඇසූ විට ඔහු රාමා නගරය ගොඩනැගීමෙන් නැවතී තමාගේ වැඩ අත්හිටෙවුවේය.
6එවිට ආසා රජ සියලු යුදාවරුන් කැඳවාගන ගොස්, බයෙෂා ගොඩනැගූ රාමාහි ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබාද මිශ්පාද ගොඩනැඟුවේය.
7එකල්හි හනානි නම් දිවස් ඇත්තා යුදාහි රජවූ ආසා ළඟට අවුත් කථාකොට: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා සිරියේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී ගියාය.
8කූෂ්වරුන්ද ලූබ්වරුන්ද රථ සහ අසරුවන් මහත් රාශියක් ඇති මහත් සේනාවක්ව සිටියා නොවේද? එහෙත් ඔබ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා උන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදුන්සේක.
9මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන ඔබ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.
10එවිට ආසා තෙමේ දිවස් ඇත්තා කෙරෙහි කෝපව ඔහු හිරගෙයි දැමීය; මක්නිසාද ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස්ව සිටියේය. එම කාලයේම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩාකෙළේය.
11බලව, ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා යුදාහිද ඉශ්‍රායෙල්හිද රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
12ආසාගේ රජකම්කිරීමේ තිස්නවවෙනි අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් විය; ඔහුගේ රෝගය තදබල විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමීන්වහන්සේ නොව වෙදුන් සෙවුවේය.
13ආසා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහු මැරුණේ තමාගේ රජකම්කිරීමේ සතළිස් එක්වෙනි අවුරුද්දේදීය.
14ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගන තිබුණු ඔහුගේම සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය, යළිත් තෛල මිශ්‍රකරන්නාගේ ශාස්ත්‍රය ලෙස පිළියෙළකළ නොයෙක් ආකාර සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූහ. ඔව්හු ඔහු උදෙසා ඉතා මහත් ගිනිමැලයක් දැල්වුවෝය.