Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කළාවූ සියලු වැඩ සම්පූර්ණවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකර තිබුණු දේවල් එනම් රිදීද රන්ද සියලු භාණ්ඩද ඇතුළට ගෙනවුත් දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.
2එකල සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරවූ සියොන්හි සිට ගෙනෙන්ට ඉශ්‍රායෙල්ගේ වැඩිමහල්ලන්ද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද යෙරුසලමට රැස්කෙරෙවුවේය.
3සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝද සත්වෙනි මාසයේ පැවැත්වූ මංගල්‍යයේදී රජු වෙතට රැස්වූවෝය.
4ඉශ්රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල ලෙවීවරු ගිවිසුම් පෙට්ටිය උසුලාගන,
5පෙට්ටියද සම්මුඛවීමේ කූඩාරමද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩද ගෙනාවෝය; පූජකයොත් ලෙවීවරුත් ඒවා ගෙනාවෝය.
6සාලමොන් රජු හා ඔහු වෙත රැස්ව සිටිය මුළු ඉශ්රායෙල් සභාව කියන්ටවත් ගණින්ටවත් බැරි තරම් බැටළුවන්ද ගවයින්ද පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.
7පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දේව වාක්‍යස්ථානයට ගෙනැවිත්, කෙරූබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝය.
8එසේ පෙට්ටියේ ස්ථානයට උඩින් විහිදී තිබුණ කෙරූබ්වරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොලුත් උඩින් වැසී තිබුණේය.
9පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් පෙට්ටියෙන් පිට දේව වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.
10ඉශ්රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හෝරෙබ්හිදී එහි තිබූ ගල්ලෑලි දෙක මිස පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.
11(එතැන සිටි පූජකයෝ පංක්ති පිළිවෙළ නොපවත්වා, සියල්ලෝම පිරිසිදුවී සිටියෝය.
12ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)
13එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.
14ඒ වලාපටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරිවිය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් දෙවියන්වහන්සේගේ ගෘහය පිරීගියේය.