Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.
2ඔහු මුහුදත් වාත්තුකර සෑදුවේය. ඒකේ ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දහයක්ය, එය වටකුරුව තිබුණේය. ඒකේ උස පස් රියනක්ය, ඒකේ වට ප්රමාණය තිස් රියනක් විය.
3ඒකේ පහළ කොට්ඨාසයේ, රියනකට ගවරූප දසයක් බැගින්, එය වාත්තුකරන විට වාත්තුකළ දෙපේළියක ගවරූප වටකරින්ම තිබුණේය.
4ඒක ගවරූප දොළොසක් පිට තබා තිබුණේය. තුනක් උතුරු දෙසටද තුනක් බටහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. මුහුද ඒවාට උඩින් ඒවා පිට තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.
5ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය කුසලාන් ගැටියක වැඩ මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබුණේය. එහි බාත් තුන්දහසක් ඇල්ලුවේය.
6සේදීම පිණිස ඔහු භාජන දසයක් සාදා පහක් දකුණු පැත්තේද පහක් වම් පැත්තේද තැබුවේය; දවන පූජාව සම්බන්ධ දේ එහි සෝදනලද්දේය. නුමුත් මුහුද තිබුණේ පූජකයන්ට සේදීම පිණිසය.
7රන් පහන්-රුක් දසයත් ඒවායේ නියමයේ හැටියට ඔහු සාදා මාලිගාවෙහි දකුණේ පහකුත් වමේ පහකුත් තැබුවේය.
8ඔහු මේස දසයක්ද සාදා, පහක් මාලිගාවෙහි දකුණේද පහක් වමේද තැබුවේය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේය.
9පූජකයන්ගේ මළුවද මහ මළුවද ඒ මළුවට දොරවල්ද සාදා, ඒ දොරවල් පිත්තලෙන් වැසුවේය.
10මුහුද වනාහි ඔහු දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරෙහි තැබුවේය.
11තවද හූරාම් සැළිත් හැඳිත් තාලිත් සෑදුවේය. මෙසේ හූරාම් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සාලමොන් රජුට කළ වැඩ ඉෂ්ටකොට නිමකෙළේය.
12එනම් කුළුනු දෙකද, කුළුනු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙකද, කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,
13කුළුනු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද යන මේවාය.
14ඔහු මැහිද සෑදුවේය, මැහි පිට තිබුණු භාජනද
15එක මුහුදද ඒ යට ගවයන් දොළොසද
16සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔ���ුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.
17යොර්දාන් සමභූමියෙහි සුක්කොත්ද ශෙරෙදාද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තුකෙරෙවුවේය.
18මෙසේ සාලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේය. පිත්තලවල බරද දැනගත නොහැකි විය.
19සාලමොන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු වන රන් පූජාසනයද පිදීමේ රොටි තිබුණු මේසද;
20දේව වාක්යස්ථානය ඉදිරිපිට නියමයේ හැටියට දැල්වීමට පවිත්ර රන් පහන්-රුක්ද ඒවායේ පහන්ද;
21රනින් එනම් ඉතා අනර්ඝ රනින් මල්ද පහන්ද අඬුද;
22පවිත්ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.