Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
26 verses
1එම්බා තෙයෝපිලස්නි, යේසුස්වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කරණකොටගෙන අණදුන් පසු,
2ඔසවාගනු ලැබූ දවස දක්වා, උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනයකෙළෙමි.
3උන්වහන්සේ වද වින්ද පසු සතළිස් දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශවූසේක.
4උන්වහන්සේ ඔවුන් සමඟ රැස්ව ඔවුන්ට ආඥාකරමින්: යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න.
5මක්නිසාද යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුයයි කීසේක.
6එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
7උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.
8නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
9උන්වහන්සේ මේ කාරණා කී කල්හි, ඔවුන් බලා සිටියදීම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී, ඔවුන්ට නොපෙනී ගියසේක.
10උන්වහන්සේ යන කල, ඔවුන් ස්වර්ගය දෙස ඕනෑකමින් බලා සිටියදී, සුදු වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,
11ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.
12එකල ඔව්හු යෙරුසලමට සමීපවූ, සබත් දවසක ගමන් දුරවූ ඔලීව නම් ලත් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය.
13ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.
14මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස්වහන්සේගේ මවුවූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමඟ එක්සිත්ව නොකඩවම යාච්ඤාකරමින් සිටියෝය.
15මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:
16සහෝදරයෙනි, යේසුස්වහන්සේ ඇල්ලූ අයට මගපෙන්නුවාවූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ දාවිත්ගේ මුඛයෙන් පෙර කීවාවූ වාක්‍යය සම්පූර්ණවෙන්ට ඕනෑව තිබුණේය.
17මක්නිසාද ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ මෙහෙයේ තමාගේ කොටස ලැබුවේය.
18(මේ මනුෂ්‍යයා තමාගේ අයුතුකමේ කුලියෙන් බිමක් මිලේට ගෙන, මුහුණින් වැටී, මැදින් පැළුණේය, ඔහුගේ බඩවැල් සියල්ලම පිටත වීසිවුණේය.
19එය යෙරුසලම් වාසි සියල්ලන්ට සැලවිය; එහෙයින් ඒ බිමට ඔවුන්ගේ භාෂාවෙන් අකෙල්දමයයි කියනලදී, එනම් ලේ බිමය.)
20කුමක්හෙයින්ද: (ඔහුගේ වාසස්ථානය පාළුවේවා, කිසිවෙක් එහි වාසය නොකෙරේවා කියාද ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනීවා) කියාද ගීතිකා පොතෙහි ලියා තිබේ.
21එහෙයින් යොහන්ගේ බව්තීස්මය පටන් ස්වාමිවූ යේසුස්වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දවස දක්වා,
22උන්වහන්සේ අප අතරෙහි ආගිය මුළු කාලයෙහි නිතරම අප සමඟ සිටියාවූ මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකාරයෙක් විය යුතුයයි කීවේය.
23එවිට ඔව්හු යුස්තස් කියනලද බර්සබ්බස් නම් යෝසෙප්ද මත්තියස්ද යන දෙදෙනෙක් ඉදිරිපිට සිටෙවුවෝය.
24තවද ඔව්හු යාච්ඤාකරමින්: සියල්ලන්ගේ සිත් දන්නාවූ ස්වාමීන්වහන්ස, තමාගේම ස්ථානයට යන පිණිස යම් මෙහෙයකින්ද ප්‍රේරිතකමකින්ද යූදස් වැටී ගියේද,
25ඒ මෙහෙයත් ප්‍රේරිතකමේ ස්ථානයත් ලැබීමට මොවුන් දෙන්නාගෙන් ඔබ විසින් තෝරාගත් තැනැත්තා පෙන්නුව මැනවයි කියා,
26ඔවුන් ගැන පසඇට දැමුවෝය; එවිට පසඇටය මත්තියස්ට වැටුණේය; ඔහු ප්‍රේරිතයන් එකොළොස්දෙනා සමඟ ගණන්ගන්නාලද්දේය.