Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
25 verses
1ඉන්පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ගෝලයන්ට නැවත ප්‍රකාශවූසේක; උන්වහන්සේ ප්රකාශවුණේ මේ ආකාරයෙන්ය.
2සීමොන් පේතෘස්ද දිදිමුස් නම් තෝමස්ද ගලීලයේ කානා නුවර නතානියෙල්ද සෙබදීගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය.
3සීමොන් පේතෘස්: මසුන් අල්ලන්ට යමියි ඔවුන්ට කීවේය. අපිත් නුඹ සමඟ එමුයයි ඔව්හු ඔහුට කීවෝය. ඔව්හු පිටත්ව ගොස් ඔරුවට නැගුණෝය; නුමුත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.
4පහන්වන කල්හි යේසුස්වහන්සේ වෙරළෙහි සිටිසේක. එසේ වුවත් ඒ යේසුස්වහන්සේ බව ගෝලයෝ දැන නොගත්තෝය.
5එවිට යේසුස්වහන්සේ: දරුවෙනි, නුඹලා ළඟ කන්ට යමක් ඇද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නැතැයි කීවෝය.
6ඔරුවේ දකුණු පැත්තෙන් දැල දමන්න, එවිට සම්බවේයයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ දැමූ කල, මසුන් රාශිය නිසා දැල ඇදගන්ට ඔවුන්ට බැරිවිය.
7එබැවින් යේසුස්වහන්සේ ප්‍රේමකළ ගෝලයා පේතෘස්ට කථාකොට: ඒ ස්වාමීන්වහන්සේයයි කීවේය. එවිට සීමොන් පේතෘස් ඒ ස්වාමීන්වහන්සේ බව අසා, තමා ඇඳුම් නැතුව සිටි බැවින්, වස්ත්‍රයක් ඉණේ බැඳගෙන, මුහුදට පැන්නේය.
8එහෙත් අනික් ගෝලයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන කුඩා ඔරුවෙන් ආවෝය; මක්නිසාද ඔව්හු වෙරළට නුදුරුව රියන් දෙසියයක් පමණ ඈත සිටියෝය.
9මෙසේ ගොඩබැස්ස විට ඔව්හු එහි ගිනි අඟුරුද ඒ පිට මාලු තිබෙන බවද රොටිද දුටුවෝය.
10නුඹලා දැන් ඇල්ලූ මසුන්ගෙන් ගෙනෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.
11එබැවින් සීමොන් පේතෘස් ඔරුවට නැගී, ලොකු මසුන් එකසිය පණස් තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේය. එපමණ තිබුණු නුමුත් දැල ඉරුණේ නැත.
12යේසුස්වහන්සේ කථාකොට: ඇවිත් කන්නැයි ඔවුන්ට කීසේක. ඒ ස්වාමීන්වහන්සේ බව දැන, ඔබ කවුදැයි උන්වහන්සේගෙන් අසන්ට ගෝලයන්ගෙන් කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.
13යේසුස්වහන්සේ ඇවිත් රොටි අරන් ඔවුන්ට දුන්සේක, එසේම මාලුත් දුන්සේක.
14මේ වනාහි යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු ගෝලයන්ට ප්‍රකාශ වූ තුන්වෙනි වතාවය.
15මෙසේ ඔවුන් කෑ පසු යේසුස්වහන්සේ සීමොන් පේතෘස්ට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, මොවුන්ට වඩා නුඹ මට ප්‍රේමකරනවාදැයි ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ: මාගේ බැටළුපැටවුන් පෝෂණයකර��්නැයි ඔහුට කීසේක.
16නැවතත් දෙවෙනි වරක්: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ප්‍රේමකරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද: මාගේ බැටළුවන් පාලනයකරන්නැයි ඔහුට කීසේක.
17උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ-ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.
18සැබවක් සැබවක් නුඹට කියමි-නුඹේ යෞවන කාලයේ නුඹේ ඉඟටිය බැඳගෙන කැමති තැන්වල ඇවිද්දෙහිය. නුමුත් නුඹ මහලුවූ කල නුඹේ අත් දිගුකරන්නෙහිය, වෙන කෙනෙක් නුඹේ ඉඟටිය බැඳ, නුඹ කැමති නැති තැනකට ගෙනයනවා ඇතැයි කීසේක.
19ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන්වහන්සේව ගෞරවයට පමුණුවනවා ඇද්දැයි හඟවාදෙමින් උන්වහන්සේ මෙසේ කීසේක. මේ වචන කියා: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
20පේතෘස් හැරී, යේසුස්වහන්සේ ප්‍රේම කළාවූද රාත්‍රිකෑමේදී උන්වහන්සේගේ ළපැත්තේ හාන්සිව සිට: ස්වාමීනි, ඔබ පාවාදෙන්නා කවුදැයි ඇසුවාවූද ගෝලයා පස්සෙන් එනවා දුටුවේය.
21පේතෘස් ඔහු දැක: ස්වාමීනි, මොහු ගැන කිමෙක්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
22යේසුස්වහන්සේද: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකද? නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
23එහෙයින් ඒ ගෝලයා මැරෙන්නේ නැත යන මේ කීම සහෝදරයන් අතරේ පතළවිය. එසේවී නුමුත් යේසුස්වහන්සේ: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකදැයි කීවා මිස ඔහු මැරෙන්නේ නැතැයි නොකීසේක.
24මේ දේ ගැන සාක්ෂිදෙන්නාවූ, මේ දේ ලියුවාවූ ගෝලයා මොහුය. මොහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමුව.
25යේසුස්වහන්සේ කළ වෙනත් බොහෝ දේවල්ද ඇත්තේය, ඒවා එකින් එක ලියනලද්දේ නම්, ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදියයි සිතමි.