Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
26 verses
1පේතෘස්ද යොහන්ද යාච්ඤා වේලාවවූ නවවෙනි පැයේ දේවමාළිගාවට යද්දී,
2මවුකුස පටන් කොරව සිටි එක්තරා මනුෂ්‍යයෙක් ගෙනයනු ලැබුවේය. ඔහු මාළිගාවට ඇතුල්වෙන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයයි කියන මාළිගාවේ දොරටුව ළඟ දවස්පතා තබනලද්දේය.
3ඔහු පේතෘස්ද යොහන්ද දේවමාළිගාවට ඇතුල්වෙන්ට යනවා දැක, සිඟමන් ඉල්ලුවේය.
4පේතෘස් යොහන් සමඟ ඔහු දෙස ඇස් හෙළා: අප දෙස බලන්නැයි කීවේය.
5ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය.
6පේතෘස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදින්නැයි කියා,
7ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙවුවේය. එකෙණෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය.
8ඔහු පැනනැගී කෙලින් සිට, ඇවිදින්ට පටන්ගත්තේය; ඇවිදිමින්ද පැනනගිමින්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්ද ඔහු ඔවුන් සමඟ දේවමාළිගාවට ඇතුල්වුණේය.
9මුළු සෙනඟ ඔහු ඇවිදිනවාත් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරනවාත් දැක,
10දේවමාළිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමින් ඉඳගන උන් තැනැත්තා ඔහු බව දැන, ඔහුට සිද්ධවූ කාරණය ගැන පුදුමයෙන්ද විස්මයෙන්ද පිරුණෝය.
11ඔහු පේතෘස් සහ යොහන් අල්ලාගෙන සිටියදී, මුළු සෙනඟ ඉතා පුදුමව සාලමොන්ගේයයි කියන ද්වාරමණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව දිවුවෝය.
12පේතෘස් ඒ දැක සෙනඟට උත්තරදෙමින්: ඉශ්රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද?
13ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් මෙහෙකරුවූ යේසුස්වහන්සේ ගෞරවයට පැමිණෙවුසේක. නුඹලා උන්වහන්සේ පාවාදී, පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට තීන්දුකරගන සිටි කල, ඔහු ඉදිරියෙහිදී උන්වහන්සේව එපාකළහුය.
14මෙසේ නුඹලා ශුද්ධවූ ධර්මිෂ්ඨවූ තැනන්වහන්සේව එපාකොට, මිනීමරුවෙකු නුඹලාට දෙන පිණිස ඉල්ලා,
15ජීවනයේ අධිපතියාව මැරුවහුය; දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක; අපි ඊට සාක්ෂිකාරයෝය.
16උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ නාමයම නුඹ��ා දකින්නාවූ අඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සවිකෙළේය. එසේය, උන්වහන්සේ කරණකොටගෙන ඇත්තාවූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියෙහි මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය.
17ඉතින්, සහෝදරයෙනි, නුඹලාගේ මුලාදෑනීන් කළාක්මෙන්ම නුඹලාත් නොදත්කමින් ඒක කළ බව මම දනිමි.
18නුමුත් ස්වකීය ක්‍රිස්තුස්වහන්සේ විඳිනසේකැයි දෙවියන්වහන්සේ සියලු අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් පෙර දැන්නෙවුවාවූ දේවල් මෙසේ සම්පූර්ණකළසේක.
19එබැවින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද,
20නුඹලා උදෙසා නියමකරනලද්දාවූ ක්‍රිස්තුස්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, එවන පිණිසද, නුඹලාගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න.
21දෙවියන්වහන්සේ ලෝකයේ පටන්ගැන්මේ සිට තමන්ගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ, සියලු දේ නැවත පිහිටුවන්නාවූ කාලවල් දක්වා උන්වහන්සේ ස්වර්ගයෙහි සිටින්ට ඕනෑය.
22මෝසෙස් කථාකොට: නුඹලාගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ මා සමාන අනාගතවක්තෘකෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේක; ඔහු නුඹලාට කථාකරන සියල්ල ගැන ඔහුට ඇහුම්කන්දෙන්න.
23ඒ අනාගතවක්තෘට ඇහුම්කන් නොදෙන්නාවූ සැමදෙනම සෙනඟ අතරෙන් මුළුමනින්ම විනාශකරනු ලබන්නෝයයි කීවේය.
24එසේය, සාමුවෙල් පටන් ඊට පසු පැමිණි යම් පමණ අනාගතවක්තෘහු කථාකළෝද, ඒ සියල්ලෝම මේ දවස් ගැන කථාකළෝය.
25නුඹලා අනාගතවක්තෘවරුන්ගේද, නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු වර්ගයෝ ආශීර්වාද ලබන්නෝයයි ආබ්‍රහම්ට කියමින් දෙවියන්වහන්සේ විසින් නුඹලාගේ පියවරුන් සමඟ කළ ගිවිසුමේද පුත්‍රයෝය.
26දෙවියන්වහන්සේ ස්වකීය සේවකයා නැගුටුවාදී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේද අයුතුකම්වලින් හැරවීමෙන් නුඹලාට ආශීර්වාදකරන පිණිස, පළමුකොට නුඹලා වෙතට උන්වහන්සේව එවූසේකැයි කීවේය.