Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
37 verses
1ඔවුන් සෙනඟට කථාකරද්දී පූජකයෝද දේවමාළිගාවේ සේනාපතියාද සද්දුසිවරුන්ට සෙනඟට ඔවුන් ඉගැන්වූ බැවිනුත්,
2යේසුස්වහන්සේ කරණකොටගෙන මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවිනුත් අතිශයෙන් කැලඹී,
3ඔවුන් කරා පැමිණ, ඔවුන් පිට අත් හෙළා, සවස්වූ බැවින් පසුවදා වන තුරු හිරගෙයි තැබුවෝය.
4නුමුත් වචනය ඇසූවන්ගෙන් බොහෝ දෙනෙක් අදහාගත්තෝය; ඒ මනුෂ්‍යයන්ගේ ගණන පන්දහසක් පමණ විය.
5තවද පසුවදා ඔවුන්ගේ මුලාදෑනියෝද වැඩිමහල්ලෝද ලියන්නෝද,
6උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා:
7නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්දැයි විචාළෝය.
8එවිට පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔවුන්ට කියනුයේ, සෙනඟගේ මුලාදෑනියෙනි, වැඩිමහල්ලෙනි,
9දුර්වල මනුෂ්‍යයෙකුට කළාවූ යහපත් ක්‍රියාවක් ගැන, ඔහු සුවකරනු ලැබුවේ කොයි විධියෙන්දැයි අද අපි විභාගකරනු ලබමු නම්,
10නුඹලා විසින් කුරුසියෙහි ඇණගසනලද්දාවූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්රායෙල් සෙනඟද දැනගනිත්වා.
11උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළුකරනු ලැබුවාවූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූද ගලය.
12වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.
13එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.
14සුවකරනු ලැබූ මනුෂ්‍යයා ඔවුන් සමඟ සිටිනවා දැක, ඊට විරුද්ධව කිසිවක් කියන්ට ඔවුන්ට නොහැකි විය.
15නුමුත් මන්ත්‍රණ සභාවෙන් පිටතට යන්ට ඔවුන්ට ආඥාකොට, තම තමුන් අතරේ කථාකරගනිමින්: මේ මනුෂ්‍යයන්ට මක්කරමුද?
16මක්නිසාද විශිෂ්ටවූ ආශ්චර්යයක් ඔවුන් කරණකොටගෙන කරනලද බව යෙරුසලමෙහි වසන්නාවූ සියල්ලන්ට ප්‍රකාශව තිබේ; ඒක නැතැයි කියන්ට අපට නුපුළුවන.
17නුමුත් සෙනඟ අතරේ එය තවත් දුරට පතළ නොවන පිණිස, මින්මතු කාටවත් මේ නාමයෙන් කථා නොකරන්ට ඔවුන්ට තර්ජනයකරමුයයි කීවෝය.
18තවද ඔව්හු ඔවුන් ගෙන්වා, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කථා නොකරන ලෙසද නූගන්වන ලෙසද ඔවුන්ට ආඥාකළෝය.
19නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.
20මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථානොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය.
21සිද්ධවුණු දේ ගැන සියල්ලන් දෙවියන්වහන්සේට ප්‍රශංසාකළ බැවින්, සෙනඟ නිසා ඔවුන්ට දඬුවම්කරන්ට අන්දමක් නොදැක, ඔව්හු ඔවුන්ට තව දුරටත් තර්ජනයකොට යන්ට හැරියෝය.
22මක්නිසාද මේ ආශ්චර්යයෙන් සුවකරනු ලැබූ මනුෂ්‍යයා සතළිස් අවුරුද්දකට වඩා වයස්ව සිටියේය.
23ඔව්හු නිදහස්කරනු ලැබ, තමුන්ගේම සමාගමට ඇවිත්, නායක පූජකයන් හා වැඩිමහල්ලන් විසින් තමුන්ට කියන ලද සියල්ල දැන්වූවෝය.
24ඔව්හු ඒ අසා එක්සිත්ව දෙවියන්වහන්සේට හඬනඟා: අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ස්වාමිනි,
25ඔබගේ මෙහෙකරුවූ අපගේ පියවූ දාවිත්ගේ මුඛයෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඔබ කථාකොට: අන්‍යජාතීහු කුමට කෝලාහල කළෝද? ජනයෝ කුමට නිෂ්ඵල දේ සිතත්ද?
26ස්වාමීන්වහන්සේටද උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේටද විරුද්ධව පොළොවේ රජවරු සැරසී සිටියෝය, ආණ්ඩුකාරයෝ එක්ව රැස්වූවෝයයි කීසේක.
27කුමක්හෙයින්ද ඔබගේ අතින්ද ඔබගේ මන්ත්‍රණයෙන්ද සිද්ධවන්ට නියමකළ කොයි දෙයක් නුමුත් ඉෂ්ටකරන පිණිස,
28ඔබ ආලේපකළ ඔබගේ ශුද්ධ සේවකවූ යේසුස්වහන්සේට විරුද්ධව සැබවින් හෙරොද්ද පොන්තියුස් පිලාත්ද අන්‍ය ජාතීන් හා ඉශ්රායෙල් සෙනඟ සමඟ මේ නුවර රැස්වූවෝය.
29දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල,
30ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.
31ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.
32අදහාගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්තවූහ. කිසිවෙක් තමාට අයිති දේවලින් කිසිවක් තමාගේමයයි නොකීවේය; සියල්ල ඔවුන්ට පොදුවේ තිබුණේය.
33ස්වාමිවූ යේසුස්වහන්සේගේ නැවත-නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය.
34හිඟ ඇති කිසිවෙක් ඔවුන් අතරෙහි නොවීය. මක්නිසාද බිම් හෝ ගෙවල් හෝ ඇති සියල්ලෝ ඒවා විකුණා, විකුණනලද දේවල මිල ගෙනත්,
35ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවෝය. එකල එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාදෙන ලද්දේය.
36කුප්‍රස් දේශිකයෙක් වන ලෙවියයෙක්වූ (අනුශාසනාවේ පුත්‍ර යන අර්ථ ඇති) බාර්ණබස් යන නාමය ප්‍රේරිතයන්ගෙන් ලැබුවාවූ යෝසෙප් වනාහි,
37තමාට තිබුණු බිමක් විකුණා, මිල ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය.