Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1තෙකෝවාහි එඬේරුන් අතරේ සිටි ආමොස් යූදාහි රජවූ උස්සියාගේ දවස්වලද යෝවාෂ්ගේ පුත්රවූ ඉශ්රායෙල් රජවූ යෙරොබෝවම්ගේ දවස්වලද පොළෝකම්පාවට දෑවුරුද්දකට පළමුවෙන් ඉශ්රායෙල් ගැන දුටු කාරණය.
2ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලෙපනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය.
3ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දමස්කයේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහනොකරන්නෙමි; මක්නිසාද මඩින යකඩ යන්ත්රවලින් ඔවුන් විසින් ගිලියද් දේශය මඩිනලද්දේය.
4ඒ නිසා මම බෙන්-හදද්ගේ මාළිගා නාස්තිකරන ගින්නක් හසායෙල්ගේ ගෙදරට අරින්නෙමි.
5මම දමස්කයේ අගුල බිඳ, වැසියා ආවෙන්හි මිටියාවතෙන්ද, ජයකොන්තය අල්ලන්නා ඒදන් වංශයෙන්ද සිඳදමන්නෙමි. අරාම්හි වැසියෝ වහල්කමට කීර්ට යන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගාසාහි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ඒදොම්ට පාවාදෙන පිණිස මුළු සෙනඟ වහල්කමට ගෙනගියෝය.
7ඒ නිසා මම ගාසාහි මාළිගා නාස්තිකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.
8මම අෂ්දොද් කෙරෙන් වැසියාද අෂ්කෙලොන් කෙරෙන් ජයකොන්තය අල්ලන්නාද සිඳදමා, මාගේ අත එක්රොන්ට විරුද්ධව හරවන්නෙමි, පිලිස්තිවරුන්ගෙන් ඉතිරි කොටසද විනාශවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
9ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.
10ඒ නිසා මම තීර්හි මාළිගා විනාශකරන ගින්නක් එහි පවුර පිටට අරින්නෙමි.
11ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු කඩුව ඇතුව තමාගේ සහෝදරයා පස්සේ එළවාගනගොස්, තමාගේ අනුකම්පාව සහමුලින්ම පහකොට, තමාගේ උදහසින් නිතරම ඉරාදමා, තමාගේ කෝපය සෑමකල්හිම තබාගත්තේය.
12ඒ නිසා මම බොශ්රාහි මාළිගා විනාශකරන ගින්නක් තේමාන්ට අරින්නෙමි.
13ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අම්මොන් පුත්රයන්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා ඔවුන්ගේ දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු තමුන්ගේ සීමාව විශාලකරගන්න පිණිස ගිලියද්හි ගර්භිණීන් ඉරාදැම්මෝය.
14ඒ නිසා යුද්ධ දවසේ ඝෝෂාවද සුළිහුළං දවසේ කුණාටුවද ඇතුව, රබ්බාහි මාළිගාව විනාශකරන ගින්නක් එහි පවුර පිට අවුළුවන්නෙමි.
15ඔවුන්ගේ රජද ඔහුගේ අධිපතීහුද එක්ව වහල්කමට යන්නෝයයි ස්ව���මීන්වහන්සේ කියනසේක.