Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
21 verses
1එසේය, මා විසින් යූදාගේද යෙරුසලමේද වහල්කම පහකරන ඒ දවස්වලදී ඒ කාලයෙහිදීත්,
2මම සියලු ජාතීන් රැස්කොට, යෙහෝෂාපාත්* මිටියාවතට පමුණුවා, එහි මාගේ සෙනඟද මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසුරුවා, මාගේ දේශය බෙදාගත්තෝය. (* යෙහෝවාගේ විනිශ්චයේ මිටියාවතට)
3ඔව්හු මාගේ සෙනඟ ගැන පසඇට දමා, පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රිකපානය බොන පිණිස වික්කෝය.
4ඇරත් තීර් සහ ශීදොන්ද පිලිස්තියේ සියලු පළාත්ද යන නුඹලා මට මොකක්ද? නුඹලා මා පිටට ප්‍රතිඵල පමුණුවන්නහුද? එසේ මා පිටට පැමිණෙවුවොත් කඩිනමින්ම නුඹලාගේ ප්‍රතිඵල නුඹලාගේ හිස් පිටට වහාම හරවන්නෙමි.
5නුඹලා මාගේ රන් රිදී අරගන ගොස්, මාගේ හොඳවූ ප්‍රියවූ දේවල් නුඹලාගේ මාළිගාවල තැබුවහුය.
6තවද නුඹලා යූදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත්කරන පිණිස ඔවුන් ග්‍රීක්වරුන්ගේ පුත්‍රයන්ට වික්කහුය.
7ඉතින් නුඹලා ඔවුන් විකුණා ඇරිය ස්ථානයෙන් මම ඔවුන් නැගුටුවා, නුඹලාගේ ක්‍රියාව නුඹලාගේ හිස් පිටට හරවා,
8නුඹලාගේ පුත්‍රයන්ද දූවරුන්ද යූදා පුත්‍රයන් අතට විකුණන්නෙමි, ඔවුන් වනාහි දුරස්තර ජාතියක් වන ෂෙබාවරුන්ට ඔවුන් විකුණනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ එසේ කීසේක.
9ජාතීන් අතරේ මේක ප්‍රකාශකරන්න; යුද්ධයට පේවී, බලවතුන් නැගුටුවන්න; සියලු යුද්ධකාරයෝ ළංවී නැගී එත්වා.
10නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.
11වටකර සිටින සියලු ජාතීනි, ඉක්මන්කර එන්න, එසේ ඔව්හු රැස්වෙත්වා. ස්වාමීන්වහන්ස, ඔබගේ බලවතුන් එහි පැමිණෙවුව මැනව.
12ජාතීහු නැගිට යෙහෝෂාපාත් මිටියාවතට නැගී එත්වා. මක්නිසාද වටකර සිටින සියලු ජාතීන් විනිශ්චයකරන්ට එහි හිඳගන්නෙමි.
13ගොයම් පැසුණු නිසා දෑකැත්ත පොවන්න. මුද්‍රික යන්ත්‍රය පිරී තිබෙන බැවින් ඇවිත් බසින්න; මිදි යන්ත්‍රය පිරී තිබේ, පැස් ඉතිරීයන්නේය; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මහත්ය.
14රාශි ගණන් සමූහයෝ තීන්දු කිරීමේ මිටියාවතෙහි සිටින්නෝය. මක්නිසාද තීන්දු කිරීමේ මිටියාවතෙහි ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ.
15ඉර හඳ අඳුරුවී තිබේ, තාරකාවල දිලිහීමද පහවෙයි.
16ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනසේක; අහසද පොළොවද සෙලවෙනවා ඇත. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව, ඉශ්රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක.
17මෙසේ ස්වාමීන්වහන්සේ වන මා මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වසන නුඹලාගේ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහු��. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය, විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය.
18ඒ කාලයෙහි කඳුවලින් මිදි පැන් වැගිරෙනවා ඇත, හෙල්වලින් කිරි ගලනවා ඇත, යූදාහි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් උල්පතක් නික්ම ෂිට්ටීම් මිටියාවතට වතුර දෙනවා ඇත.
19යූදා දරුවන්ගේ දේශයෙහි නිදොස් ලේ වගරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිසරය පාළුවක්ද ඒදොම් පාළු කාන්තාරයක්ද වන්නේය.
20නුමුත් යූදා සදාකාලේටත් යෙරුසලම පරම්පරාවෙන් පරම්පරාවටත් පවතිනවා ඇත.
21මා විසින් නිදොස් නොකළ ඔවුන්ගේ ලේ නිදොස්කරන්නෙමි; ස්වාමීන්වහන්සේද සියොන්හි වාසය කරනවා ඇත.