Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
25 verses
1ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.
2පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.
3මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.
4අපේ ජීවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්රකාශවන කල, නුඹලාත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශවන්නහුය.
5එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැදීමවූ තණ්හාවත් නසන්න.
6මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.
7නුඹලාත් පසුගිය කාලයෙහි ඒ දේවල ජීවත්වූ කල ඒවායෙහි හැසුරුණහුය.
8නුමුත් දැන් නුඹලා ඒ සියල්ලකෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව-පහකරන්න.
9එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,
10අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.
11එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මජේද්යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.
12එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,
13එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.
14මේ සියල්ල උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.
15ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;
16ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීගයන්න.
17තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක්කරතත්, සියල්ලම ස්වාමීවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.
18භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.
19පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේමකරන්න.
20දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය.
21පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.
22දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න.
23නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන,
24නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.
25මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය.