Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
20 verses
1ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ සටනට ගොස් අශ්වයන් හා රථද ඔබට වඩා ගණනින් වැඩිවූ සෙනඟක්ද දක්නා කල ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වනසේක.
2තවද ඔබ සැම සටනට ළංවෙන කල්හි පූජකයා සෙනඟ ළඟට අවුත් කථාකරමින්:
3ඉශ්රායෙල්වරුනි, අසන්න, ඔබ සැම අද ඔබ සැමගේ සතුරන්ට විරුද්ධව සටනට ළංවෙනවාය. ඔබ සැමගේ සිත් ක්ලාන්ත නොවේවා; ඔවුන් නිසා භය නොවන්න, වෙවුලමින් තැති නොගන්න.
4මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සතුරන්ට විරුද්ධව ඔබ සැම වෙනුවට සටන්කොට ඔබ සැම ගළවන පිණිස ඔබ සැම සමඟ යනසේකැයි ඔවුන්ට කියාවා.
5මුලාදෑනියෝද සෙනඟට කථාකරමින්: අලුත් ගෙයක් ගොඩනැගුවේවී නුමුත් එහි ගෙවදීම නොකළ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරීයේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ගෙවදීම කරනවා ඇත.
6මිදි වත්තක් වවා එහි ඵල භුක්ති නොවින්ද මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් එය භුක්ති විඳිනවා ඇත.
7ස්ත්‍රියෙකුට විවාහ බස් දී ඈ පාවා නොගත් මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ඈ පාවා ගන්නවා ඇතැයි කියන්ට ඕනෑය.
8මුලාදෑනීහු සෙනඟට තවත් කථාකර: භයවෙන්නාවූ ක්ලාන්ත සිතක් ඇත්තාවූ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙට හැරීයේවා, නැත්නම් ඔහුගේ සිත මෙන් ඔහුගේ සහෝදරයන්ගේ සිත්ද දියවෙනවා ඇතැයි කියන්ට ඕනෑය.
9මුලාදෑනීන් සෙනඟට කථාකර තීන්දුවූ කල්හි ඔව්හු සෙනඟ කෙරෙහි සේනාපතියන් පත්කෙරෙත්වා.
10ඔබ නුවරකට විරුද්ධව සටන්කරන්ට ළංවන කල්හි ඊට සමාදානය ප්‍රකාශකරන්න.
11ඔබට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ ඔබට කප්පන් දෙමින් ඔබට සේවය කළ යුතුය.
12ඒ නුවර වනාහි ඔබ සමඟ සමාදාන වෙන්ට අකැමතිව ඔබට විරුද්ධව යුද්ධකරන්නේ නම් ඔබ ඒක වටලන්න.
13ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක ඔබ අතට පාවාදුන් කල්හි එහි සිටින සියලු පිරිමින්ට කඩු මුවහතින් පහර දෙන්න.
14නුමුත් ස්ත්‍රීන්ද බාලයන්ද සිව්පාවුන්ද නුවර තිබෙන සියල්ල එන���් එහි මුළු කොල්ලයද ඔබටම කොල්ලයක් පිණිස අරගන්න; ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන්නාවූ ඔබේ සතුරන්ගෙන් ගන්න කොල්ලය ඔබට කන්නට පුළුවන.
15මෙහි සිටින මේ ජාතීන්ගේ නුවරවල් නොවන්නාවූ ඔබෙන් ඉතා ඈත්ව තිබෙන සියලු නුවරවලට එසේ කරන්න.
16එහෙත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට ඔබට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න.
17තමුන්ගේ දෙවිවරුන් සඳහා ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා ලෙස කරන්ට ඔවුන් ඔබ සැමට නූගන්වන පිණිසද, එසේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව ඔබ සැම පව් නොකරන පිණිසද,
18හිත්තීවරුද අමෝරිවරුද කානානිවරුද පෙරිස්සිවරුද හිවීවරුද යෙබූසිවරුද වන ඔවුන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස ඔබ විසින් සහමුලින්ම විනාශකර දැමිය යුතුය.
19ඔබ යම් නුවරක් අල්ලාගන්ට ඊට විරුද්ධව යුද්ධකරමින් බොහෝ දවස් ඒක වටලාගෙන ඉන්න අතර එහි තිබෙන ගස් පොරොවෙන් කපා නාස්ති නොකරන්න; මක්නිසාද ඔබට ඒවායෙන් කන්ට පුළුවන, ඒවා කපා නොදමන්න; කුමක්හෙයින්ද ඔබ විසින් වටලනු ලබන පිණිස කෙතේ වෘක්ෂය මනුෂ්‍යයෙක්ද?
20කෑමට නුසුදුසු බව ඔබ දන්නා ගස් පමණක් කපා නාස්තිකර, ඔබට විරුද්ධව යුද්ධ කරන නුවර පරාජය වනතුරු ඊට විරුද්ධව පවුරු ගොඩනගන්න.