Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන දේශයෙහි යමෙකු කෙතේ මරාදමා තිබෙනවා සම්බවුණොත්, ඔහු කා විසින් මැරුවාද කියා නොදන්නවා නම්,
2ඔබේ වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද පිටතට අවුත් ඒ මළකඳ වටේට තිබෙන නුවරවල් දක්වා මැන බලත්වා.
3එවිට මළකඳට කිට්ටුව තිබෙන නුවර වැඩිමහල්ලෝ වැඩ නොකළාවූ වියගහ නොදැරුවාවූ එළනෑම්බියක් රැළෙන් ගෙන,
4හාන්ටවත් වපුරන්ටවත් නොයෙදෙන්නාවූ වතුර නිතරම ගලායන්නාවූ මිටියාවතකට ගෙනැවිත්, නෑම්බියගේ බොටුව මිටියාවතේදී කඩත්වා.
5ලෙවීගේ පුත්‍රයෝවූ පූජකයෝද එහි පැමිණෙත්වා; මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් තමන්ට සේවයකරන පිණිසද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ඔවුන් තෝරාගත් සේක; ඔවුන්ගේ කීමේ හැටියට සියලු විවාදද සියලු දඬුවම්ද වේවා.
6මළකඳට කිට්ටුව තිබෙන නුවර සියලු වැඩිමහල්ලෝ මිටියාවතේදී බොටුව කඩනු ලැබූ නෑම්බී මත්තේ තමුන්ගේ අත් සෝදා උත්තරදෙමින්:
7අපේ අත් මේ ලේ වැගිරෙවුවේවත් අපේ ඇස් මෙය දුටුවේවත් නැත.
8ස්වාමීන්වහන්ස, ඔබ මුදාගත් ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි නිදොස් ලේවල වරද නොතබා ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල්ට කමා වුණමැනවයි කියත්වා. එවිට ඒ ලේ ගැන ඔවුන්ට කමාව ලැබේ.
9මෙසේ ඔබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කිරීමෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය ඔබ සැම අතරෙන් පහකළ යුතුය. ගෘහ වාස නීති
10ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ සටනට ගොස් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දෙන විට ඔබ ඔවුන් වහල්කමට අල්වාගෙන,
11ඔවුන් අතරේ රුව ඇති ස්ත්‍රියෙකු දැක ඈට ඇලුම්වී ඈ භාර්යාව කොට ගත්තොත්, ඈ ඔබේ ගෙදරට ගෙනයන්න;
12ඈ තමාගේ හිස මුඩුකොට, ඇගේ නියපොතු කපා,
13ඇගේ වහල්කමේ වස්ත්‍රය තමා කෙරෙන් පහකොට, ඔබේ ගෙයි හිඳ පුරා මාසයක් ඇගේ මවුපියන් ගැන වැලපේවා. ඉන් පසු ඔබ ඈ කරා එළඹ ඇගේ පුරුෂයා වන්නෙහිය, ඈද ඔබේ භාර්යාව වන්නීය.
14ඉදින් ඔබ ඈ කෙරෙහි ප්‍රසන්න නැත්නම් ඈ මිලේට නොවිකුණා ඈ කැමති තැනකට යන්ට අරින්න. ඔබ ඈට අගෞරව කළ බැවින් ඈ කෙරෙහි වහලියකු කෙරෙහි මෙන් නොහැසිරිය යුතුය.
15මනුෂ්‍යයෙකුට ප්‍රියවූ තැනැත්තියක්ද අප්‍රියවූ තැනැත්තියක්ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප්‍රියවූ තැනැත්තීත් අප්‍රියවූ තැනැත්තීත් දෙන්නාම ඔහු නිසා දරුවන් බිහිකළෝනම්, අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයා කුලුඳුලා වන්නේ නම්,
16ඔහු තමා සන්තක දේපල තමාගේ පුත්‍රයන්ට උරුම කර දෙන කල්හි කුලුඳුලාව සිටින අප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට ප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතුය.
17අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයාට තමා සන්තක සියල්ලෙන් දෙකොටසක් දීමෙන් ඔහු කුලුඳුලා කොට පිළිගත යුතුය. මක්නිසාද ඔහුගේ ශක්තියේ පටන්ගැන්ම ඔහුය; කුලුඳුලාගේ වාසි කොටස ඔහුට අයිතිය.
18තමාගේ පියාගේ හඬටත් මවගේ හඬටත් කීකරු නොවෙන්නාවූ, ඔවුන් ඔහුට දඬුවම්කරන නුමුත් ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නාවූ, මුරණ්ඩුවූ, කැරළිකාර පුත්‍රයෙක් යමෙකුට ඇත්නම්,
19ඔහුගේ මවුපියෝ ඔහු අල්ලා ඔහුගේ නුවර වැඩිමහල්ලන් වෙතටත් ඔහුගේ ස්ථානයේ දොරටුවටත් ගෙන ගොස්:
20මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක්ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා.
21එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න; මුළු ඉශ්‍රායෙල්ද අසා භය වෙනවා ඇත.
22මරණය ලැබීමට සුදුසු පාපයක් කර මරනු ලැබුවාවූ යමෙක් ඔබ විසින් ගසක එල්ලනු ලැබුවේනම්,
23ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට ඔබට දෙන දේශය ඔබ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.