Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
36 verses
1ඔබ විසින් ඔවුන් ඉදිරියෙහි තැබිය යුතු නියමවල් මේවාය.
2ඔබ හෙබ්‍රෙව් වැඩකාරයෙකු මිලේට ගන්නෙහි නම් ඔහු අවුරුදු හයක් වැඩකොට සත්වෙනි අවුරුද්දේ නිකමට නිදහස්ව යන්නේය.
3ඔහු පමණක් ආයේ නම් ඔහු පමණක් නිදහස්ව යන්නේය. විවාහවූ අයෙක්නම් ඔහුගේ භාර්යාව ඔහු සමඟ යන්නීය.
4ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක් දුන්නේනම්, ඈ ඔහු නිසා පුත්‍රයන් හෝ දූවරුන් හෝ වැදුවානම්, ඒ ස්ත්‍රියද ඇගේ දරුවෝද ස්වාමියා සන්තකය, ඔහු පමණක් නිදහස්ව යන්නේය.
5එහෙත් ඒ වැඩකාරයා: මාගේ ස්වාමියාටද මාගේ භාර්යාවටද මාගේ දරුවන්ටද ආදරේ ඇත්තෙමි; නිදහස්ව නොයන්නෙමියි ඇත්තටම කියාසිටියොත්,
6ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය; ඔහුද සෑමකල්හිම ඔහුට වැඩකරන්නේය.
7මනුෂ්‍යයෙක් තමාගේ දුව දාසියෙකුකොට වික්කොත් වැඩකාරයන් නිදහස්ව යන්නාක්මෙන් ඈ නොයන්නීය.
8ඈට විවාහ බස් දුන් ඇගේ ස්වාමියා ඈ කෙරෙහි ප්‍රසන්න නැත්නම් ඔහු ඈ මුදන්ට ඉඩදේවා, ඔහු ඈට රැවටිල්ලෙන් ක්‍රියා කළ බැවින් අන් සෙනඟකට ඈ විකුණන්ට ඔහුට කිසි බලයක් නැත.
9ඔහු තමාගේ පුත්‍රයාට ඈ ගැන විවාහ බස් දුන්නොත් දූවරුන්ගේ නියමයේ හැටියට ඈට ක්‍රියාකරන්නේය.
10ඔහු වෙන තැනැත්තියක් සරණපාවා ගත්තොත් ඔහු ඇගේ කෑමද ඇඳීමද විවාහයේ යුතුකමද අඩුනොකරන්නේය.
11ඈට මේ කාරණා තුන ඉෂ්ට නොකළොත් මිල නොදී නිකම් අහක්වයන්ට ඈට පුළුවන.
12මනුෂ්‍යයෙකුට මැරෙන ලෙස පහරදෙන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේය.
13නුමුත් මනුෂ්‍යයෙක් රැක නොසිටිද්දී ඔහු අතට අසුවෙන්ට දෙවියන්වහන්සේ ඉඩ ඇරියොත් ඔහු විසින් පලායන පිණිස තැනක් ඔබට නියම කරන්නෙමි.
14නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.
15තමාගේ පියාටවත් මවුටවත් පහරදෙන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතු��.
16මනුෂ්‍යයෙකු සොරකම්කොට විකුණන්නාවූ නොහොත් තමා සමඟ තබාගන්නාවූ තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.
17තමාගේ පියාට හෝ මවුට හෝ ශාප කරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.
18මනුෂ්‍යයන් ඩබරකොට එක්කෙනෙක් අනික් අයට ගලකින් හෝ මිටින් හෝ පහරදුන් විට ඔහු නොනැසී ඔත්පළව සිට
19දෙවනු නැගිට ඔහුගේ සැරයටි වාරුවෙන් පිටත ඇවිද්දොත් ඔහුට පහරදුන් තැනැත්තේ නිදහස් වන්නේය. නුමුත් ඔහු විසින් ඒ මනුෂ්‍යයා නිකම් සිටි කාලයට පමණක් ගෙවා ඔහු සම්පූර්ණයෙන් සුවකරනු ලබන්ට සැලැස්විය යුතුය.
20මනුෂ්‍යයෙක් තමාගේ වැඩකාරයාට හෝ වැඩකාරීට හෝ සැරයටියකින් ගසා එයින් ඒ අය මළේ නම්, ගැසූ අය සැබවින් දඬුවම් ලැබිය යුතුය.
21එසේවී නුමුත් ඔහු දවසක් හෝ දෙදවසක් හෝ නොමැරී සිටියොත් ඔහු දඬුවම් නොලබන්නේය. මක්නිසාද ඒ තැනැත්තා ඔහුගේ වස්තුවය.
22මනුෂ්‍යයන් ඩබරකරන කොට ගර්භිණියක් ගබ්සාවන ලෙස යමෙක් ඈට ගැසුවොත්, අනතුරක් සිදුනූණත්, ඇගේ පුරුෂයා නියමකරන හැටියට සැබවින් ඔහු දඩගසනු ලැබ විනිශ්චයකාරයන් විසින් නියමකරන ලෙස ගෙවිය යුතුය.
23නුමුත් යම් අනතුරක් සිදුවුණොත්,
24ප්‍රාණයට ප්‍රාණයත් ඇසට ඇසත් දතට දතත් අතට අතත් පයට පයත්
25දැවීමට දැවීමත් තුවාලයට තුවාලයත් පහරට පහරත් දිය යුතුය.
26මනුෂ්‍යයෙක් තමාගේ වැඩකාරයාගේ ඇසට හෝ වැඩකාරීගේ ඇසට හෝ පහරදී එය නැතිකළොත් ඔහුගේ ඇස නිසා ඔහු නිදහස්කර හැරිය යුතුය.
27ඔහු තමාගේ වැඩකාරයාගේ දත හෝ වැඩකාරීගේ දත හෝ ඉගිලෙන්ට ගැසුවොත් ඒ අයගේ දත නිසා ඔහු නිදහස් කර හැරීය යුතුය.
28ගවයෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හෝ මැරෙන ලෙස ඇන්නොත් ගවයා සැබවින් ගල්ගසා මැරිය යුතුය, උගේ මස නොකෑ යුතුය; එහෙත් ගව හිමියා නිදොස්ය.
29නුමුත් ගවයා ඉස්සර සිට අනින බව ඌ අයිතිකාරයාට දන්වනු ලැබ තිබියදීත් ඌ ප්රවේසම්කර නොතැබීම නිසා ඌ පුරුෂයෙකු හෝ ස්ත්‍රියෙකු හෝ මැරුවොත් ගවයා ගල්ගසා මැරිය යුතුය, උගේ අයිතිකාරයාද මරනු ලැබිය යුතුය.
30ඔහුට දඩයක් නියමකරන ලද්දේ වීනම් ඔහුට නියම කරන සියල්ලේ හැටියට ඔහු තමාගේ ප්‍රාණය මුදා ගැනීම පිණිස දිය යුතුය.
31ඌ පුත්‍රයෙකුට ඇන්නත් දුවකට ඇන්නත් මේ විනිශ්චය ලෙස ඔහුට කළ යුතුය.
32ගවයා වැඩකාරයෙකුට හෝ වැඩකාරියකට හෝ ඇන්නොත් ඔවුන්ගේ ස්වාමියාට ඔහු රිදී ෂෙකෙල් තිහක් දිය යුතුය, ගවයාද ගල් ගසා මැරිය යුතුය.
33මනුෂ්‍යයෙක් වළක වැස්ම හැර තැබූ කල නොහොත් වළක් හාරා ඒක නොවසා තැබූ කල ගවයෙක් හෝ කොටළුවෙක් හෝ එහි වැටුණොත්,
34වළ අයිතිකාරයා උගේ අලාභය ගෙවා උන්ගේ අයිතිකාරයාට මිල දිය යුතුය, මළ සතා ඔහුට වන්නේය.
35යම් මනුෂ්‍යයෙකුගේ ගොනෙක් වෙන කෙනෙකුගේ ගොනෙකුට මැරෙන තරම් තුවාල කළොත් ඔව්හු ජීවත්ව සිටින ගවයා විකුණා ඒ මිල බෙදා ගනිත්වා, මළ ගොනාද බෙදාගනිත්වා.
36නොහොත් ඒ ගවයා ඉස්සර සිට අනින බව උගේ අයිතිකාරයා දැනගන ඌ ප්රවේසම්කර නොතැබුවේ නම් ඔහු විසින් ගවයා වෙනුවට ගවයෙක් දියයුතුය, මළ සතාද ඔහුට වන්නේය.