Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
31 verses
1මනුෂ්‍යයෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම්කොට මැරුවොත් නොහොත් වික්කොත් ගවයෙකුට ගවයන් පස්දෙනෙක්ද බැටළුවෙකුට බැටළුවන් සතර දෙනෙක්ද දිය යුතුය.
2උමං කණින අතර සොරා අසුවී පහර ලැබීමෙන් මළොත් ඔහු ගැන මිනීමැරීමේ වරදක් නොවන්නේය.
3නුමුත් ඉර උදාවී තිබේ නම් ඔහු ගැන මිනීමැරීමේ වරද වන්නේය. සොරා විසින් අලාභය ගෙවිය යුතුය; ඔහුට කිසිවක් නැත්නම් සොරකම්කළ දේවල් ගැන ඔහු විකුණනු ලැබිය යුතුය.
4සොරාගත් දේ ගවයෙකු හෝ කොටළුවෙකු හෝ බැටළුවෙකු හෝ පණපිටින් ඔහු අත සම්බවුණොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය.
5මනුෂ්‍යයෙක් තමාගේ මෘගයා වෙන කෙනෙකුගේ කෙතෙහි කැවුවොත්, ඌ ලිහා අරිනු ලැබ කෙතක හෝ මිදිවත්තක හෝ කෑවොත්, තමාගේම කෙතේද මිදිවත්තේද හොඳ කොටසෙන් ඔහු විසින් අලාභය ගෙවිය යුතුය.
6ගිනි ඇවිළ කටුගස්වලට අල්ලා එයින් ගොයම් කොළ හෝ නොකැපූ ගොයම් හෝ කෙත හෝ දා ගියොත් ගිනි ඇවුළු තැනැත්තා විසින් සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
7මනුෂ්‍යයෙක් මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම් කරන පිණිස තමාගේ අසල්වාසියාට භාරදුන් කල්හි ඒ මනුෂ්‍යයාගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබුවොත් සොරාද අසුවුණොත් ඔහු දෙගුණයක් ගෙවිය යුතුය.
8සොරා අසුනූණොත් ගෙයි ස්වාමියා තම අසල්වාසියාගේ බඩුවලට අත නොපෙවුවාදැයි බලන පිණිස ඔහු දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා.
9සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතිවූ කොයි ප්‍රකාර දෙයක් ගැන හෝ මේ ඒකයයි යමෙක් කීවොත් දෙපක්ෂයේ කාරණය දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා; දෙවියන්වහන්සේ විසින් වරදට පත්කරන තැනැත්තා තමාගේ අසල්වාසියාට දෙගුණයක් දිය යුතුය.
10මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙන යම් මෘගයෙකු හෝ ප්‍රවේසම්කිරීමට භාරදුන් කල්හි කිසිවෙකුට නොපෙනී ඌ මළොත් නොහොත් තුවාලකරනු ලැබුවොත් නොහොත් පන්නා අල්ලාගනු ලැබුවොත්,
11ඔහු තමාගේ අසල්වාසියාගේ දෙයට අත නොතැබූ බවට ඔවුන් දෙදෙනා අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවිරීමක් වේවා; උගේ අයිතිකාරයා එය පිළිගන්නේය, අනික් අය ඊට අලාභය ගෙවන්ට ඕනෑ නැත.
12එහෙත් ඌ ඔහු කෙරෙන් සොරකම් කරනු ලැබුවොත් ඌ වෙනුවට අයිතිකාරයාට අලාභය ගෙවිය යුතුය.
13ඌ ඉරාදමනු ලැබීනම් සාක්ෂි පිණිස ඒකා ගෙනේවා; ඉරනු ලැබුවාට අලාභය ගෙවන්ට ඕනෑ නැත.
14මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් සතෙකු ඉල්ලාගෙන, අයිතිකාරයා ළඟ නැති කල ඒකාට තුවාල වුණොත්, නොහොත් ඌ මළොත්, ඔහු සැබවින්ම අලාභය ගෙවිය යුතුය.
15උගේ අයිතිකාරයා ළඟ සිටියොත් එලෙස ගෙවන්ට ඕනෑ නැත. ඌ කුලියට ගත් එකෙක් නම් ඌ උගේ කුලියට ආයේය.
16මනුෂ්‍යයෙක් විවාහ බස් නුදුන්නාවූ කන්‍යාවක් පොළඹවාගෙන ඈ සමඟ සයනයකළොත් ඈ තමාගේ භාර්යාව වන පිණිස ඔහු සැබවින්ම දායාදයක් දියයුතුය.
17ඇගේ පියා ඈ ඔහුට දෙන්ට කොහෙත්ම කැමතිනූණොත් ඔහු කන්‍යාවන්ගේ දායාද ලෙස මුදල් ගෙවිය යුතුය.
18මායාකාරියෙකුට ජීවත්වන්ට ඉඩ නොහරින්න.
19මෘගයෙකු සමඟ සංවාසයකරන කවරෙක් නමුත් සැබවින් මරනු ලැබිය යුතුය,
20ස්වාමීන්වහන්සේ ඇර වෙන දෙවියෙකුට පූජාකරන තැනැත්තා සිඳදමනු ලැබිය යුතුය.
21විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.
22කිසි කණවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න.
23ඔබ යම් ආකාරයකින් ඔවුන්ට හිංසාකළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි;
24එවිට මාගේ උදහස ඇවිළෙනවා ඇත, මමද කඩුවෙන් ඔබ සැම මරාදමන්නෙමි; මෙසේ ඔබ සැමගේ භාර්යාවෝ කණවැන්දුමියෝද ඔබ සැමගේ දරුවෝ පියා නැත්තෝද වන්නෝය.
25ඔබ ළඟ සිටින මාගේ සෙනඟ අතරෙන් දුප්පත් කිසිවෙකුට ඔබ මුදල් ණයට දුන්නොත් ඔබ ඔහුට ණය හිමියෙක් මෙන් වෙන්ටවත් ඔබ සැම ඔහුගෙන් පොළී ගන්ටවත් යුතු නැත.
26ඔබේ අසල්වාසියාගේ වස්ත්‍රය කොහෙත්ම උකස්කොට ගත්තෙහිනම් ඉර බහින විට ඔබ ඒක නැවත ඔහුට දියයුතුය.
27මක්නිසාද ඒක ඔහුගේ එකම වැස්මය, ඒක ඔහුගේ ඇඟේ වස්ත්‍රයය. ඔහු නිදන විට පෙරවාගන්නේ කුමක්ද? තවද ඔහු මට හඬගසන විට ඇහුම්කන් දෙන්නෙමි; මක්නිසාද මම කරුණාභරිතය.
28දෙවියන්වහන්සේට දෙස් නොකියව, ඔබේ සෙනඟගේ අධිපතියෙකුට ශාප නොකරව.
29ඔබේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. ඔබේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය.
30ඔබේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය.
31ඔබ සැම මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය.