Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
33 verses
1බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට ඔබේ අත නොදෙන්න.
2නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න; විනිශ්චය පෙරළන පිණිස කාරණයකදී සමූහයකට පක්ෂව සාක්ෂි නොදෙන්න.
3දිළිඳෙකුටත් ඔහුගේ නඩුවේදී පක්ෂනොවන්න.
4ඔබේ සතුරාගේ ගොනා හෝ ඔහුගේ කොටළුවා හෝ මුළාව යනවා සම්බවුණොත් ඔබ ඒකා ඔහු කරා නැවත ගෙනයා යුතුමය.
5ඔබට වෛර කරන්නාගේ කොටළුවා බර සමඟ වැටී ඉන්නවා දුටුවොත් ඔහුට උපකාර කිරීමෙන් වැලකෙන්ට සිතුණත් ඌ මුදන්ට ඔබ ඔහුට උදව්විය යුතුමය.
6ඔබේ දිළිඳු අයෙකුගේ නඩුවේදී ඔහුගේ විනිශ්චය නොපෙරළන්න.
7බොරුකාරණයකින් දුරුව සිටින්න; නිදොස්වූ ධර්මිෂ්ඨවූ තැනැත්තා නොමරන්න. මක්නිසාද මම දුෂ්ටයා ධර්මිෂ්ඨ නොකරන්නෙමි.
8අල්ලස් නොගන්න. මක්නිසාද අල්ලස ඇස් පෙනීම ඇත්තන් අන්ධකරයි, ධර්මිෂ්ඨයාගේ වචන පෙරළයි.
9විදේශියෙකුට පීඩානොකරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශීව සිටි බැවින් විදේශියාගේ සිත දන්නහුය.
10ඔබේ බිම් සාවුරුද්දක් වපුරා එහි අස්වැන්න රැස්කරගන්න.
11එහෙත් සත්වෙනි අවුරුද්දේ ඔබේ සෙනඟගේ දිළිඳුන් එයින් කන පිණිස ඒක නොවපුරා නිකම් තිබෙන්ට හරින්න. ඔවුන් ඉතිරිකරන දෙය කෙතේ මෘගයෝ කත්වා. ඔබේ මිදිවත්ත සහ ඔලීවවත්ත ගැනත් එසේම කරන්න.
12සදවසක් ඔබේ වැඩ කරගන්න, එහෙත් ඔබේ ගවයාට සහ ඔබේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද ඔබේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න.
13මා විසින් ඔබ සැමට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක ඔබ සැමගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.
14අවුරුද්දට තුන් වරක් මට මංගල්‍යයක් පවත්වන්න.
15මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්න. ඔබ සැම ආබීබ් මාසයේදී මිසරයෙන් පිටතට ආ බැවින් මා විසින් අණකළ ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කන්න; කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණේවා.
16ඔබ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් ඔබේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.
17ඔබේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය.
18මාගේ පූජාවේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකරන්න; මාගේ මංගල්‍යයේ තෙලද පසුවදා උදය වන තුරු රෑ මුළුල්ලේ නොතිබිය යුතුය.
19ඔබේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහින්න.
20බලව, මාර්ගයෙහි ඔබ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට ඔබ පමුණුවන පිණිසද ඔබට පෙරටුව දූතයෙකු යවමි.
21උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රවේසම්වෙමින් උන්වහන්සේගේ හඬට කන්දෙන්න; උන්වහන්සේ කෝප නොකරන්න; මක්නිසාද උන්වහන්සේ ඔබ සැමගේ අපරාධවලට කමා නොවනසේක; මක්නිසාද මාගේ නාමය උන්වහන්සේ තුළ ඇත්තේය.
22එහෙත් ඔබ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දී මා කියන සියල්ල කළොත් මම ඔබේ සතුරන්ට සතුරෙක්ද ඔබේ විරුද්ධකාරයන්ට විරුද්ධකාරයෙක්ද වන්නෙමි.
23මක්නිසාද මාගේ දූතයා ඔබට පෙරටුව ගොස් අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද කානානිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද වෙතට ඔබ පමුණුවනසේක. මමද ඔවුන් සිඳදමන්නෙමි.
24ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න.
25ඔබ සැම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ ඔබේ භෝජනයටත් ඔබේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම ඔබ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.
26ඔබේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම ඔබේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.
27මාගේ භයංකරකම ඔබට පෙරටුව යවා ඔබ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට ඔබේ සියලු සතුරන් ඔබට පිටුපාන්ට සලස්වන්නෙමි.
28ඔබ ඉදිරියෙන් හිවීවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පන්නන පිණිස ඔබට පෙරටුව දෙබරුන් යවන්නෙමි.
29මම එක අවුරුද්දකින් ඔවුන් ඔබ ඉදිරියෙන් පන්නා නොදමන්නෙමි; එසේකළොත් දේශය පාළුවී වන මෘගයන් ඔබට විරුද්ධව බෝවෙනවා ඇත.
30ඔබ සැම වැඩිවී දේශය උරුමකරගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික ඔබ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.
31මම ඔබේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද ඔබ විසින් දේශයේ වැසියන් ඔබ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් ඔබේ අතට පාවාදෙන්නෙමි.
32ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් ගිවිසුමක් නොකරන්න.
33මට විරුද්ධව පව්කරන්ට ඔවුන් ඔබ නොසලස්වන පිණිස ඔවුන් ඔබේ දේශයෙහි වාසයකරන්ට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙකරන්නෙහිනම් සැබවින්ම ඒක ඔබට මලපතක් වන්නේයයි කීසේක.