Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් වංශයට තේරවිල්ලක්ද උපමාවක්ද කියමින්-
3ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. මහත් පියාපත්ද දිග පිහාටුද ඇත්තාවූ, පිහාටුවලින් ගැවසීගත්තාවූ, විසිතුරුවූ මහ රාජාලියෙක් ලෙබනොන්ට ඇවිත් කිහිරි ගහේ මුදුන කඩාගත්තේය.
4ඔහු ඒකේ මුදුන් රිකිලි කඩා, වෙළඳාමේ දේශයකට එය ගෙනැවිත්, වෙළඳුන්ගේ නුවරක එය සිටෙවුවේය.
5ඔහු දේශයේ බීජයක්ද රැගෙන සාරවත් බිමක සිටෙවුවේය; ඔහු එය බොහෝ දිය ළඟ නළා ගසක් මෙන් එහි පිහිටෙවුවේය.
6ඒක වැවී පැතිරෙන්නාවූ මිටිවූ මිදිවැලක් විය; එහි අතු ඔහු දෙසට හැරී එහි මුල් ඔහු යටින් ඇද්දේය. මෙසේ ඒක මිදිවැලක් වී අතු ලියලා රිකිලි දැමුවේය.
7තවද මහත් පියාපත් සහ බොහෝ පිහාටු ඇති තවත් මහත් රාජාලියෙක් විය. එවිට ඒ මිදිවැල එහි මුල් ඔහු දෙසට හරවා, ඔහු ඒකට වතුර වක්කරන පිණිස, එය පිහිටුවා තිබුණු පාත්තිවලින් එහි අතු ඔහු දෙසට දිගුකෙළේය.
8එය උතුම් මිදිවැලක් වෙන හැටියට අතු ලියලා ඵල දරන පිණිස එය හොඳ බිමක බොහෝ වතුර ළඟ හිටවා තිබුණේය.
9ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: එය සඵලවේද? එය වියළී යන පිණිස ඔහු ඒකේ මුල් උදුරා ඒකේ ඵල කපා නොදමන්නේද? වැඩෙන්නාවූ ඒකේ [අමු] කොළ සියල්ලම වියළී යනවා ඇත; ඒකේ මුල් පිටින් එය උදුරා දමන්ට මහත් හස්තයක්වත් බොහෝ සෙනඟවත් ඕනෑ නොවන්නේය.
10එය හිටවා තිබෙන නුමුත් එය සඵලවේද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහ මුලින්ම නොවියලෙන්නේද? එය වැවුණ පාත්තිවලම එය වියළී යනවා ඇතැයි කීය. ශෙදෙකියාගේ කැරළිගැසීම හා එහි ඵලය.
11තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
12මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගිය���ය.
13ඔහු රාජ වංශයේ කෙනෙක් ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු දිවුරවා, දේශයේ බලවන්තයන් ගෙනගියේය.
14මෙසේ කළේ රාජ්‍යය පහත්ව තිබී ඔහුගේ ගිවිසුම පැවැත්වීම කරණකොටගෙන එය පවතිනවා මිස නැවත උසස් නොවන පිණිසය.
15නුමුත් ඔහු අශ්වයන් සහ බොහෝ සෙනඟඟ ලබාගන්නට තමාගේ තානාපතියන් මිසරයට යැවීමෙන් ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු සඵලවේද? මෙබඳු දේ කරන්නා ගැළවේද? ගිවිසුම කඩකරලාත් ඔහු ගැළවෙනවා ඇද්ද?
16මා ජීවමාන බව සැබෑවා සේම ඔහු රජකමට පත්කළ රජුගේ දිවුරුම ඔහු සුළුකොට ඔහුගේ ගිවිසුම කඩකළ නිසා, ඔහු ඒ රජුගේ ස්ථානයවූ බබිලෝනිය ඇතුළේදී ඒ රජු ළඟම නසින්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
17ඔවුන් බොහෝ දෙනෙකු සිඳදමන ලෙස ගොඩැලි සාදා බලකොටු ගොඩනගන කල, යුද්ධයෙහිදී ඵාරාවෝ තමාගේ බලවත් සේනාවද මහත් සමූහයද ඇතුව ඔහු උදෙසා කිසිවක් කරන්නේ නැත.
18මක්නිසාද ඔහු ගිවිසුම කඩකිරීමෙන් දිවුරුම සුළුකෙළේය; ඔහු තමාගේ අත දී තිබුණ නුමුත් මේ සියල්ල කෙළේය; ඔහු නොගැළවෙන්නේය.
19එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම ඔහු සුළුකළේ මාගේ දිවුරුමය, ඔහු කඩකළෙත් මාගේ ගිවිසුමය, මමද ඔහුගේ හිස පිටට ප්‍රතිඵල දෙන්නෙමි.
20මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය, මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහිදී ඔහු සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.
21ඔහුගේ සියලු සමුදාවලින් පලායන සියල්ලන් කඩුවෙන් වැටෙනවා ඇත, ඉතිරිවෙන අය සියලු දිශාවලට විසුරුවනු ලබනවා ඇත. නුඹලාද ස්වාමීන්වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහුය.
22ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මමත් උස්වූ කිහිරි ගසේ මුදුනෙන් කෑල්ලක් ගෙන හිටවන්නෙමි; එහි මුදුන් රිකිලිවලින් ළපටි එකක් කඩාගෙන උසස්ව තිබෙන උස්වූ කන්දක් උඩ හිටවන්නෙමි.
23මම එය උස්වූ ඉශ්රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.
24එවිට ස්වාමීන්වහන්සේවූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බවත් අමුගහ වියළවා, වියළි ගහ සශ්‍රීකකර තිබෙන බවත් කෙතේ සියලු ගස් දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමි, එලෙසම කරමියි කීය.