Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
32 verses
1ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:
2පියවරු ඇඹුල් මිදිඵල කන්නෝය, දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය යන උපමාව නුඹලා ඉශ්රායෙල් රට ගැන කියන්නේ මක්නිසාද?
3මා ජීවමාන බව සැබෑවා සේම ඉශ්රායෙල්වරුන් අතරෙහි මේ උපමාව තවත් කියන්ට නුඹලාට නොලැබෙන්නේයයි ස්වාමිවූ දෙවියන් වහන්සේ කියනසේක.
4බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.
5නුමුත් යම් මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨව සිට යුක්තියද ධර්මිෂ්ඨකමද කෙරේ නම්, කඳු පිට නොකා,
6ඉශ්රායෙල් වංශයේ දේවරූපවලට තමාගේ ඇස් නොඑසෙවුවේ නම්, අන් කෙනෙකුගේ භාර්යාව අපවිත්‍ර නොකොට, ඔසප්වී සිටින ස්ත්‍රියෙක් වෙතට නොපැමිණ සිටින්නේ නම්,
7කිසිවෙකුට පීඩා නොකොට, ණය ගැන ගත් උකස නැවත දුන්නේ නම්, කිසිවෙකුගෙන් කොල්ල නොකා, බඩගිනි ඇත්තාට තමාගේ කෑම දී, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර ඇන්දෙවුවේ නම්,
8පොළියට නොදී, ලාභත් නොගෙන, තමාගේ අත අයුතුකමෙන් වලක්වාගත්තේ නම්, එකිනෙකා අතරේ සැබෑවූ යුක්තිය ඉෂ්ටකොට,
9මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, සැබෑලෙස හැසිරේ නම්, ඔහු ධර්මිෂ්ඨය, ඔහු සැබවින් ජීවත්වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
10නුමුත් ඔහුට උපදින පුත්‍රයෙක් බලාත්කාරකරන්නෙක්ව, ලේ වගුරුවන්නෙක්ව, මෙකී දේවලින් කොයි එකක් නුමුත් කරන්නෙක්ව,
11ඒ කිසි යුතුකමක් නොකරන්නෙක්ව සිටී නම්, කඳු පිට කා, අන් කෙනෙකුගේ භාර්යාව අපවිත්‍රකොට,
12අසරණයාටද දිළින්දාටද පීඩාකොට, කොල්ලකන්නෙක් වේ නම්, උකස නැවත නොදී සිට, තමාගේ ඇස් දේවරූපවලට ඔසවා,
13පිළිකුල්කම්කෙළේ නම්, පොළියට දී, ලාභද ගත්තේ නම්, ඒ පුත්‍රයා ජීවත්වන්නේද? ඔහු ජීවත් නොවන්නේය; ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් නසින්නේය; ඔහුගේ ලේ ඔහු පිටම වන්නේය.
14නුමුත් ඔහුට උපදින පුත්‍රයෙක් තමාගේ පියා කළ සියලු පාප දැක, භයවී,
15එලෙස නොකර සිටී නම්, කඳු පිට නොකා, ඉශ්රායෙල් වංශයේ දේවරූපවලට තමාගේ ඇස් නොඔසවා, අන් කෙනෙකුගේ භාර්යාව අපවිත්‍ර නොකොට සිටී නම්,
16කිසිවෙකුට පීඩා නොකොට, උකසක් නොගෙන, කිසිවෙකුගෙන් කොල්ල නොකා, බඩගිනි ඇත්තාට තමාගේ කෑම දී, වස්ත්‍ර නැති අයට වස්ත්‍රයක් අන්දවා,
17තමාගේ අත අසරණයා පිට නොහෙළා, පොළීවත් ලාභවත් නොගෙන සිටී නම්, මාගේ විනිශ්චයන් ඉෂ්ටකොට මාගේ පනත් ප්‍රකාර හැසුරුණේ නම්; ඔහු තමාගේ පියාගේ අයුතුකම නිසා නොනැසී සැබවින්ම ජීවත්වන්නේය.
18ඔහුගේ පියා වනාහි ක්‍රෑරලෙස පීඩාකොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ හොඳ නැති දේ කළ නිසා, බලව, ඔහු තමාගේ අයුතුකමෙහි නසින්නේය.
19නුමුත්: ඒ කොහොමද? පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේ මක්නිසාදැයි නුඹලා කියන්නහුය, පුත්‍රයා යුක්තියද ධර්මිෂ්ඨකමද කොට, මාගේ සියලු පනත් පවත්වා, ඒවා කර තිබේ නම්, ඔහු සැබවින්ම ජීවත්වන්නේය.
20පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.
21නුමුත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පනත් පවත්වමින්, යුක්තියද ධර්මිෂ්ඨකමද කළොත්, ඔහු සැබවින් නොනැසී ජීවත්වන්නේය.
22ඔහු කළ ඔහුගේ සියලු වරද ඔහුට විරුද්ධව සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ජීවත්වන්නේය.
23දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස නසිනවාට කොයි ප්‍රකාරයකින්වත් මාගේ ප්‍රසන්නයක් ඇද්දැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
24නුමුත් ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම්කොට, දුෂ්ටයා කරන සියලුම පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත් ඔහු ජීවත්වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාපය නිසාත් ඔහු නසින්නේය.
25එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹලා කියන්නහුය. එම්බා ඉශ්රායෙල් වංශය, අසන්න. මාගේ මාර්ගය සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුඹලාගේ මාර්ගවල් නොවේද?
26ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී අධර්මිෂ්ඨකම්කරමින් සිට නසින කල, ඔහු නසින්නේ තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම නිසාය.
27යළිත් දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී යුක්තියද ධර්මිෂ්ඨකමද කරන කල ඔහු තමාගේ ජීවිතය රක්ෂාකරගන්නේය.
28ඔහු කල්පනාකොට තමා කළ තමාගේ සියලුම වරද වලින් හැරෙන නිසා ඔහු නොනැසී ජීවත්වන්නේමය.
29එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි ඉශ්රායෙල් වංශය කියති. එම්බා ඉශ්රායෙල් වංශය, මාගේ මාර්ග සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුඹලාගේ මාර්ග නොවේද?
30එබැවින්, එම්බා ඉශ්රායෙල් වංශය, මම නුඹලා එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නුඹලා හැරී ඇවිත් නුඹලාගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම නුඹලාගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.
31නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් අහක දමා, අලුත් සිතක්ද අලුත් ආත්මයක්ද නුඹලාටම සාදාගන්න. ඉශ්රායෙල් වංශය නුඹලා නසින්නේ මක්නිසාද?
32නසින්නාගේ මරණය ගැන මට කිසි ප්‍රසන්නයක් නැත; එබැවින් හැරී ජීවත්වෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.