Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ
2මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉශ්රායෙල් දේශය ගැන මෙසේ කියනසේක-තීන්දුවක්, එනම් දේශයේ සතර කොනට තීන්දුවක් පැමිණ තිබේ.
3නුඹ පිටට තීන්දුව දැන් පැමිණ තිබේ, මාගේ උදහස නුඹට විරුද්ධව එවා, නුඹේ මාර්ග ලෙස නුඹ විනිශ්චයකොට, නුඹේ සියලු පිළිකුල්කම් නුඹ පිටට පමුණුවන්නෙමි.
4මාගේ ඇස නුඹ කෙරෙහි දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි. නුඹේ මාර්ග නුඹ පිටට පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල් දේ නුඹ මධ්‍යයෙහි වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
5ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: විපත්තියක්ය, එක්තරා විපත්තියක්ය; බලව, ඒක පැමිණෙයි.
6තීන්දුවක් පැමුණුණේය, තීන්දුව පැමුණුණේය, ඒක නුඹට විරුද්ධව පිබිද තිබේ; බලව, ඒක පැමිණෙන්නේය.
7එම්බා දේශයේ වැසිය, නුඹේ දඬුවම් වාරය පැමිණියේය. කාලය පැමිණ තිබේ, දවස කිට්ටුය; එය වනාහි ප්‍රීතිඝෝෂා දවසක් නොව කඳුවල කැලඹීමේ ඝෝෂා දවසක්ය.
8දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹ පිටට වගුරුවා, මාගේ උදහස නුඹ කෙරෙහි ඉෂ්ටකරන්නෙමි. නුඹේ මාර්ග ලෙස නුඹ විනිශ්චය කොට, නුඹේ සියලු පිළිකුල්කම් නුඹ පිටට පමුණුවන්නෙමි.
9මාගේ ඇස දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි, මම නුඹේ මාර්ග ලෙස නුඹ පිටට [දඬුවම්] පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල්කම්ද නුඹ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ නුඹලා දැනගන්නවා ඇත.
10මෙන්න, ඒ දවස! බලව, එය පැමිණෙයි! නුඹේ දඬුවම් වාරය පැමුණුණේය; ඉපල මල්ගත්තේය, උඩඟුකමද දළුලෑවේය.
11බලාත්කාරය දුෂ්ටකමේ දණ්ඩක් පිණිස නැගුටුණේය; ඔවුන්ගෙන් හෝ ඔවුන්ගේ සමූහයන්ගෙන් හෝ කිසිවෙක්වත් ඔවුන්ගේ වස්තුවෙන් කිසිවක්වත් ඉතිරි නොවන්නේය. ඒවා අතරේ උත්තමකමක්ද නොවන්නේය.
12කාලය පැමිණ තිබේ, දවස ළංවී තිබේ. මිලේට ගන්නා ප්‍රීති නොවේවා, විකුණන්නා නොවැලපේවා. මක්නිසාද කෝපය එහි මුළු සමූහය��� පිට තිබේ.
13විකුණන්නාද ජීවත්ව සිටින්නන් අතරෙහි ජීවත්ව සිටියත්, ඔහු වික්ක උරුමයට නැවත නොපැමිණෙන්නේය. මක්නිසාද මේ දර්ශනය එහි මුළු සමූහයාට විරුද්ධව තිබේ, කිසිවෙක් හැරීඑන්නේ නැත; කිසිවෙක්ද තමාගේ අයුතුකමින් තමාගේ ජීවිතය බලවත්කර නොගන්නේය.
14ඔවුන් හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ; නුමුත් කිසිවෙක් සටනට නොයයි. මක්නිසාද මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේය.
15පිටත කඩුවත් ඇතුළත වසංගතය හා සාගතයත් තිබේ. කෙතේ සිටින අය කඩුවෙන් මැරෙනවා ඇත; නුවර සිටින අය සාගතයෙන්ද වසංගතයෙන්ද විනාශවන්නෝය.
16එහෙත් ඔවුන් අතරෙන් ගැළවෙන අය ගැළවී ගොස්, සියල්ලෝ එකිනෙකා තම තමාගේ අයුතුකම නිසා මිටියාවත්වල පරෙවියන් මෙන් කෙඳිරිගාමින් කඳුවල සිටින්නෝය.
17සියලු අත් හෙළා වැටෙන්නේය, සියලු දණහිස්ද වතුර මෙන් බෙලහීනවන්නේය.
18ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝය, භයානකකම ඔවුන් වසාගන්නේය; සියලු මුහුණුවල ලජ්ජාවත් ඔවුන් සියල්ලන්ගේ හිස් පිට මුඩුකමත් ඇතිවන්නේය.
19ඔවුන් තමුන්ගේ රිදී වීථිවල විසිකරනවා ඇත, ඔවුන්ගේ රන්ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේය; ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ට ගැළවෙන්ට නොහැකිවන්නේය; එයින් ඔවුන්ගේ ආශාව තෘප්තියට පැමිණෙන්නේවත් ඔවුන්ගේ බඩ පිරෙන්නේවත් නැත. මක්නිසාද ඔවුන්ගේ අයුතුකම නමැති පැකිලීමේ ගල ඒකය.
20උන්වහන්සේගේ ආභරණවල අලංකාරය වනාහි ඔව්හු අහංකාරකමට පෙරළාගත්තෝය. තමුන්ගේ පිළිකුල් රූප වන තමුන්ගේ අශික්ෂිත දේ එහි සාදාගත්තෝය. එබැවින් මම ඒක ඔවුන්ට අපවිත්‍ර දෙයක්කොට තැබුවෙමි.
21මම එය විදේශීන්ට කොල්ලයක්ද පොළොවේ දුෂ්ටයන්ට කොල්ලකෑමක්ද පිණිස දෙමි; ඔවුන් ඒක කෙලහනවා ඇත.
22මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගනිමි, ඔවුන් මාගේ රහස් ස්ථානය කෙලහනවා ඇත. කොල්ලකාරයන්ද ඊට ඇතුල්වී කෙලහනවා ඇත. දම්වැළ සාදන්න.
23මක්නිසාද දේශය මිනීමැරීමේ අපරාධයෙන් පිරී තිබේ, නුවරත් බලාත්කාරයෙන් පිරී තිබේ.
24එබැවින් මම ඉතා නපුරු ජාතීන් ගෙන්වන්නෙමි, ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුමකරගන්නෝය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථානද කෙලහනු ලබන්නේය.
25විනාශය පැමිණෙන්නේය; ඔව්හු සමාදානය සොයන්නෝය, නුමුත් ලැබෙන්නේ නැත.
26විපත්තියක් පාසා විපත්තියක්ද ආරංචියක් පාසා ආරංචියක්ද පැමිණෙන්නේය; ඔවුන් අනාගතවක්තෘවරයාගෙන් දර්ශනයක් සොයනවා ඇත; නුමුත් පූජකයාගෙන් ව්‍යවස්ථාවද වැඩිමහල්ලන්ගෙන් මන්ත්‍රණයද නැතිවන්නේය.
27රජ වැලපෙන්නේය, අධිපතියා පාළුකම පැළඳගන්නේය, දේශයේ සෙනඟගේ අත් කැලඹෙන්නේය. මම ඔවුන්ගේ මාර්ග ලෙස ඔවුන්ට කරන්නෙමි, ඔවුන්ගේ විනිශ්චයවල හැටියට ඔවුන් විනිශ්චයකරන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.