Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
16 verses
1ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි ඔහුට දාව දරුවන් බිහිනොකළාය. ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය.
2සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය.
3ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය.
4ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළුකොට සැලකුවාය.
5සාරයි ආබ්‍රම්ට කථාකොට: මට වූ අයුත්ත ඔබ කෙරෙහි වේවා. මාගේ දාසිය ඔබේ ළයට දුනිමි; ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල මා සුළුකොට සැලකුවාය. ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරෙහි විනිශ්චයකරනසේක්වයි කීවාය.
6ආබ්‍රම්ද: බලව, ඔබේ දාසිය ඔබ යටතේය; ඔබට යහපත්ව පෙනෙන ලෙස ඈට කරන්නැයි සාරයිට කීය. සාරායි ඈට හිරිහැරකළාය, ඈ සාරයි ඉදිරියෙන් පලාගියාය.
7කාන්තාරයේ දිය උල්පතක් ළඟදී, එනම්, ෂුර්ට යන පාරේ තිබෙන දිය උල්පත ළඟදී, ඈ ස්වාමීන්වහන්සේගේ දූතයාට සම්බවුණාය.
8උන්වහන්සේ: සාරයිගේ දාසීවූ හාගර්, ඔබ කොතැන්හි සිට ආයෙහිද? කොතැනට යන්නෙහිදැයි කීසේක. ඈ: මාගේ ස්වාමිදුවවූ සාරයි ඉදිරියෙන් පලායමියි කීවාය.
9එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා: ඔබේ ස්වාමිදුව වෙතට හැරී ගොස් ඈට යටත්ව සිටින්නැයි කීසේක.
10තවද ස්වාමීන්වහන්සේගේ දූතයා: ඔබේ වංශය ගණන්කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙයින් වැඩිකරන්නෙමියි ඈට කීසේක.
11ස්වාමීන්වහන්සේගේ දූතයා: බලව, ඔබ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ ඔබේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් 16:11 එනම්, දෙවියන්වහන්සේ අසනසේක. යන නාමය තබන්න.
12ඔහු වල් කොටළුවෙකු වැනි මනුෂ්‍යයෙක් වන්නේය; ඔහුගේ අත කාහටත් විරුද්ධවන්නේය, කාගේ අතත් ඔහුට විරුද්ධවන්නේය; ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසයකරන්නේයයි කීසේක.
13ඈ තමාට කථාකළාවූ ස්වාමීන්වහන්සේට: එල් රොයි 16:13 එනම්, සියල්ල දකින දෙවියන්වහන්සේය. යන නාමය කීවාය. මක්නිසාද: මා දක්නාවූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත් වුණා නොවේදැයි ඈ කීවාය.
14එබැවින් ඒ ළිඳට බෙයෙර්-ලහයි-රොයි 16:14 එනම්, මා දක්නාවූ ජීවමාන තැනන්වහන්සේගේ ළිඳය. යන නම තබනලද්දේය. බලව, එය කාදෙෂ් සහ බෙරෙද් අතරෙහි තිබේ.
15හාගර් ආබ්‍රම් නිසා පුත්‍රයෙකු බිහිකළාය. ආබ්‍රම් වනාහි හාගර් බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඉෂ්මායෙල් යන නම තැබීය.
16හාගර් ආබ්‍රම් නිසා ඉෂ්මායෙල් බිහිකළ විට ආබ්‍රම්ගේ වයස අසූ සාවුරුද්දක් විය.