Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
20 verses
1සාරාගේ ජීවිත කාලය එකසිය විසිහත් අවුරුද්දකි. මේවා සාරාගේ ජීවිතයේ අවුරුදුය.
2සාරා කානාන් දේශයෙහිවූ කිර්යත්-අර්භාහිදී මළාය. ඒ වනාහි හෙබ්රොන් නම් ස්ථානයය. එවිට ආබ්රහම් සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය.
3ආබ්රහම් තමාගේ මළ තැනැත්තිය ඉදිරියෙන් නැගිට හෙත්ගේ පුත්රයන්ට කථාකරමින්:
4මම ඔබ සැම අතරෙහි විදේශියෙක් හා ආගන්තුකයෙක්ව සිටිමි. මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලන පිණිස ඔබ සැම අතරෙහි මට උරුමවන ලෙස සොහොන්පළක් දුනමැනවයි කීය.
5හෙත්ගේ පුත්රයෝ ආබ්රහම්ට උත්තර දෙමින්:
6මාගේ ස්වාමීනි, අපේ බස් ඇසුව මැනවි. ඔබ අප අතරෙහි බලසම්පන්න අධිපතියෙක්ය. අපේ සොහොන්පළවලින් ඉතා උතුම් එකක ඔබගේ මළ තැනැත්තිය වැළලුව මැනවි; ඔබ විසින් ඔබගේ මළ තැනැත්තිය තැන්පත් කරන පිණිස අපගෙන් කිසිවෙක් තමාගේ සොහොන්පළ නොවළක්වන්නේයයි කීවෝය.
7එවිට ආබ්රහම් නැගිට ඒ රටේ සෙනඟට එනම් හෙත්ගේ පුත්රයන්ට නැමී ආචාරකොට
8ඔවුන් සමඟ කථාකරමින්: මා විසින් මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලනවාට ඔබ සැම කැමැත්තහුනම් මාගේ බස් අසා ශොහර්ගේ පුත්රවූ එප්රොන්ගේ කෙතෙහි කෙළවර තිබෙන
9තමා සන්තකවූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි; ඔබ සැම අතරෙහි මට හිමිවූ සොහොන්පළක් පිණිස එය වටින මිල ගණනට ඔහු මට දේවයි කීවේය.
10එප්රොන් හෙත්ගේ පුත්රයන් අතරෙහි හිඳගෙන උන්නේය. එවිට හිත්තීයවූ එප්රොන් හෙත්ගේ පුත්රයන් එනම් තමන් නුවර දොරටුවෙන් ඇතුල් වෙන්නාවූ සියල්ලන් අසාගන සිටියදී ආබ්රහම්ට උත්තර දෙමින්:
11මගේ ස්වාමීනි, එසේ නොවේවා, මාගේ බස් ඇසුව මැනවි. ඒ කෙත ඔබට දෙමි, එහි තිබෙන ගුහාවද ඔබට දෙමි. මාගේ සෙනඟගේ පුත්රයන් ඉදිරියෙහිදී මම ඒක ඔබට දෙමි. ඔබගේ මළ තැනැත්තිය තැන්පත්කළ මැනවියි කීයේය.
12ආබ්රහම්ද ඒ දේශයේ සෙනඟට නැමී ආචාරකොට,
13දේශය�� සෙනඟ අසාගන සිටියදී එප්රොන්ට කථාකරමින්: ඔබ කරුණාකර මාගේ බස් ඇසුව මැනවි. කෙතට මිල දෙමි; එය මාගෙන් පිළිගත මැනවි, එවිට එහි මාගේ මළ තැනැත්තිය වළලමියි කීය.
14එප්රොන්ද ආබ්රහම්ට උත්තරදෙමින්:
15මාගේ ස්වාමීනි, මාගේ බස් ඇසුව මැනවි. රිදී ෂෙකෙල් හාරසියයක් වටින බිම් කැබෙල්ලක් මා සහ ඔබ අතරෙහි මොකක්ද? එබැවින් ඔබගේ මළ අය තැන්පත් කළ මැනවියි ඔහුට කීවේය.
16ආබ්රහම් එප්රොන්ට ඇහුම්කන්දී, ඔහු හෙත්ගේ පුත්රයන් අසාගෙන සිටියදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරෙහි වලංගුවූ රිදී ෂෙකෙල් හාරසියයක් ඔහුට කිරාදුන්නේය.
17මෙසේ මම්රේ ඉදිරිපිට මක්පේලායෙහි තිබුණු එප්රොන්ගේ කෙතද එහිවූ ගුහාවද කෙතෙහිත් වටකර සියලු සීමාවලත් තිබුණු සියලු ගස්ද හෙත්ගේ පුත්රයන් ඉදිරියෙහි,
18ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල්වුණාවූ සියල්ලන් ඉදිරියෙහි, ආබ්රහම්ට අයිතියක් වශයෙන් ස්ථිරකරන ලද්දේය.
19ඉන්පසු ආබ්රහම් තම භාර්යාවවූ සාරා කානාන් දේශයෙහි මම්රේ (එනම් හෙබ්රොන්) ඉදිරිපිට මක්පේලායේ කෙතේ ගුහාවෙහි තැන්පත්කෙළේය.
20කෙත සහ එහි ඇති ගුහාවද සොහොන්පළක් මෙන් අයිති වන පිණිස හෙත්ගේ පුත්රයන් විසින් ආබ්රහම්ට ස්ථිරකරනලද්දේය.