Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
35 verses
1එකල යාකොබ් ගමන්කොට පෙරදිග ජනයන්ගේ දේශයට පැමුණුණේය.
2ඔහු බලා, කෙතෙහි තිබෙන ළිඳක් සහ ඒ ළඟ ඉන්න බැටළු රැළවල් තුනක්ද දුටුවේය; මක්නිසාද ඒ ළිඳෙන් බැටළු රැළවලට වතුර දෙනලදී. ළින් කට උඩ තිබුණු ගලද මහත්ය.
3සියලු බැටළු රැළවල් එතැනට රැස්කර, ළින් කටින් ගල අහකට පෙරළා, බැටළුවන්ට වතුර පොවා ගල ළින් කටෙහි තිබුණු තැන්හිම නැවත තබති.
4එවිට යාකොබ්: මාගේ සහෝදරයිනි, ඔබ සැම කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. අපි හාරාන් සිට ආවෙමුයයි ඔව්හු කීවෝය.
5නාහොර්ගේ පුත්‍රවූ ලාබන් අඳුනවුදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. අඳුනමුයයි ඔව්හු කීවෝය.
6ඔහු සුවසේ සිටීදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. සුවසේ සිටියි. අන්න, බැටළුවන් සමඟ අර එන්නී ඔහුගේ දියණියවූ රාඛෙල්යයි ඔව්හු කීවෝය.
7ඔහුද: තවම දහවල්ය, ගවයන් රැස් කිරීමට කල් නොවෙයි. බැටළුවන්ට වතුර පොවාගෙන ගොස් උන්ට කවන්නැයි කීය.
8සියලු රැළවල් එක්වෙන තුරු අපට නුපුළුවන, එවිට ළින් කටින් ගල අහකට පෙරළුවාම අපි බැටළුවන්ට වතුර පොවමුයයි ඔව්හු කීවෝය.
9ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම රාඛෙල් තම පියාගේ බැටළුවන් සමඟ ආවාය; මක්නිසාද ඈ බැටළුපාළියක් වූවාය.
10තවද යාකොබ් තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ දුව වන රාඛෙල්ද තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළුවන්ද දැක ළඟට ගොස් ළින් කටින් ගල අහකට පෙරළා තමාගේ මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළු රැළට වතුර පෙවුවේය.
11යාකොබ් රාඛෙල් සිඹ ශබ්දනගා හැඬුවේය.
12තවද යාකොබ් තමා ඇගේ පියාගේ සහෝදරයා බවත් රෙබෙකාගේ පුත්‍රයා බවත් රාඛෙල්ට දැන්නුවේය. ඈ දිවගොස් ඇගේ පියාට දැන්නුවාය.
13ලාබන් තමාගේ සහෝදරීගේ පුත්‍රවූ යාකොබ් ගැන ආරංචිය ඇසූ විට ඔහු සම්බවෙන්ට දිවගොස් ඔහු වැලඳගෙන සිඹ, ඔහු තමාගේ ගෙට කැඳවාගෙන ගියේය. ඔහු මේ සියලු කරුණු ලාබන්ට කීයේය.
14සැබවින් ඔබ මාගේ ඇට සහ මාංසයත්යයි ලාබන් ඔහුට කීවේය. ඔහු මාසයක් ඔහු සමඟ විසුවේය.
15ඔබ මාගේ සහෝදරයා නිසා නිකම් මට වැඩකරන්ට යුතුද? ඔබේ කුලී කොපමණ වන්නේදැයි මට කියන්නැයි ලාබන් යාකොබ්ට කීය.
16ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.
17ලෙයාගේ ඇස් සිව්මැළිව තිබුණේය; නුමුත් රාඛෙල් රූපත්ව ප්‍රසන්න පෙනීමකින් යුක්ත වූවාය.
18යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: ඔබේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් ඔබට වැඩකරන්නෙමියි කීය.
19මා විසින් ඇය අන්‍ය පුරුෂයෙකුට දීමට වඩා ඔබට දීම හොඳය, මා සමඟ සිටින්නැයි ලාබන් කීය.
20යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.
21තවද යාකොබ්: මාගේ දවස් සම්පූර්ණවූ බැවින් මාගේ භාර්යාව කරා එළඹෙන පිණිස ඈ මට පාවාදෙන්නැයි ලාබන්ට කීය.
22ලාබන් ඒ ස්ථානයේ සියලු මිනිසුන් රැස්කොට මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය.
23තවද සවස් වූ කල ඔහු තමාගේ දියණියවූ ලෙයා කැඳවා යාකොබ් ළඟට ගෙන ගියේය; ඔහු ඇය කරා පැමිණියේය.
24ලාබන් තම දූවූ ලෙයාට තමාගේ දාසීවූ ශිල්පා දාසියක් කොට දුන්නේය.
25තවද පහන්වූ කල ඒ ලෙයා බව ඔහු දැන ගත්තේය. එවිට ඔහු ලාබන්ට කථාකොට: ඔබ මට කළ මේ දෙය කුමක්ද? මා ඔබට මෙහෙකෙළේ රාඛෙල් උදෙසා නොවේද? කුමක්හෙයින් මට වංචා කෙළෙහිදැයි ලාබන්ට කීය.
26එවිට ලාබන්: වැඩිමහල් තැනැත්තියට පළමුවෙන් බාල තැනැත්තිය සරණ පාවා දීම අපේ රටේ නොකෙරෙයි.
27මැගේ සතිය සම්පූර්ණකරන්න, එවිට තව සත් අවුරුද්දක් මා ළඟ කරන වැඩ නිසා අපි අනික් තැනැත්තියද ඔබට දෙන්නෙමුයයි කීවේය.
28යාකොබ් එසේ කොට ඇගේ සතිය සම්පූර්ණ කෙළේය. එවිට ඔහු තමාගේ දූවූ රාඛෙල්ද ඔහුට භාර්යාවක් කොට දුන්නේය.
29තවද ලාබන් තම දියණියවූ රාඛෙල්ට තමාගේ දාසීවූ බිල්හා දාසියක් කොට දුන්නේය.
30යාකොබ් රාඛෙල් කරා පැමුණුණේය, ඔහු ලෙයාට වඩා රාඛෙල්ට ආදරේව තව සත් අවුරුද්දක් ලාබන් ළඟ වැඩකෙළේය.
31ලෙයා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ දැක ඈ ගර්භිණීවන්ට සැලැස්වූසේක. නුමුත් රාඛෙල් වඳව සිටියාය.
32ලෙයා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ස්වාමීන්වහන්සේ මාගේ දුක බැලූ බැවින් මාගේ පුරුෂයා ඉතින් මට ආදරේවන්නේයයි කියා ඔහුට රූබෙන් යන නම තැබුවාය.
33නැවත ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මා අප්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ ඇසූ බැවින් මේ පුත්‍රයාත් මට දුන්සේකැයි කියා ඔහුට සිමියොන් යන නාමය තැබුවාය.
34නැවත ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ඉතින් මාගේ පුරුෂයා නිසා පුත්‍රයන් තුන්දෙනෙකු බිහිකළ බැවින් ඔහු මේ වතාවේ මට ඇලුම්වේයයි කීවාය. එබැවින් ලෙවී යන නාමය ඔහුට තබනලද්දේය.
35ඈ නැවතද ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මේ වතාවේ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමියි කීවාය. එබැවින් ඈ ඔහුට යූදා යන නාමය තැබුවාය; ඇගේ බිහිකිරීම නැවතුණේය.