Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
43 verses
1තමා යාකොබ්ට දරුවන් බිහිනොකළ බව රාඛෙල් දුටු කල ඇගේ සහෝදරීට ඊර්ෂ්‍යාකොට: මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමියි යාකොබ්ට කීවාය.
2එවිට යාකොබ් රාඛෙල් කෙරෙහි තරහවිය. ඔහු කථාකොට: ගර්භයේ ඵල ඔබෙන් වැලැක්වූ දෙවියන්වහන්සේ වෙනුවට මම සිටිම්දැයි කීය.
3එවිට රාඛෙල්: මාගේ දාසීවූ බිල්හා බලන්න, ඈ මාගේ උකුළට දරුවන් බිහිකර දෙන පිණිසද ඈ කරණකොටගෙන මටත් දරුවන් ලැබෙන පිණිසද ඈ කරා එළඹෙන්න කියා
4තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය.
5බිල්හා ගර්භිණීව යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය.
6රාඛෙල් දෙවියන්වහන්සේ මා විනිශ්චයකොට මාගේ හඬත් අසා පුත්‍රයෙකු මට දුන්සේකැයි කීවාය. එහෙයින් ඈ ඔහුට දාන් යන නාමය තැබුවාය.
7රාඛෙල්ගේ දාසීවූ බිල්හා නැවත ගර්භිණීව යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.
8එවිට රාඛෙල්: මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමඟ පොර අල්ලා ජයගතිමියි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවාය.
9ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය.
10ලෙයාගේ දාසීවූ ශිල්පාද යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය.
11ලෙයා: වාසනාවන්තයි! කියා ඔහුට ගාද් යන නාමය තැබුවාය.
12ලෙයාගේ දාසීවූ ශිල්පා යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.
13ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂේර් යන නාමය තැබුවාය.
14තිරිඟු කපන කාලයේදී රූබෙන් කෙතට ගිය කල එහි දුදායිම් ගෙඩි සම්බවී, තමාගේ මවුවූ ලෙයාට ගෙනැවිත් දුන්නේය. එවිට රාඛෙල්: ඔබේ පුත්‍රයාගේ දුදායිම් ගෙඩිවලින් ටිකක් මට දෙන්නැයි ලෙයාට කීවාය.
15ඈ: ඔබ මාගේ පුරුෂයා පැහැරගත්තා මදිවාට මාගේ පුත්‍රයාගේ දුදායිම් ගෙඩිත් ගන්ට හදනවාදැයි කීවාය. එවිට: ඔබේ පුත්‍රයාගේ දුදායිම් දුන්නොත් හෙතෙමේ අද රාත්‍රියෙහි ඔබ සමඟ සයනයකරන්නේයයි රාඛෙල් කීවාය.
16යාකොබ් සවස් වේලෙහි කෙතෙන් එද්දී ලෙයා ඔහු සම්බවෙන්ට ගොස්: ඔබ මා කරා පැමිණෙන්ට ඕනෑය; මක්නිසාද මාගේ පුත්‍රයාගේ දුදායිම්වලින් ඔබ සැබවින් කුලියට ගත්තෙමියි කීවාය. ඔහු එදා රාත්‍රියෙහි ඈ සමඟ සයනය කෙළේය.
17දෙවියන්වහන්සේ ලෙයාට කන්දුන්සේක, ඈ ගර්භිණීව යාකොබ් නිසා පස්වෙනි පුත්‍රයෙකු බිහිකළාය.
18මාගේ දාසිය මාගේ පුරුෂයාට මා විසින් දුන් හෙයින් දෙවියන්වහන්සේ මාගේ කුලී මට දුන්සේක කියා ලෙයා ඔහුට ඉස්සාඛර් යන නාමය තැබුවාය.
19ලෙයා නැවත ගර්භිණීව යාකොබ් නිසා හවෙනි පුත්‍රයෙකු බිහිකළාය.
20ඈ: දෙවියන්වහන්සේ උතුම් දායාදයක් මට දී තිබේ; මාගේ පුරුෂයා නිසා මා පුත්‍රයන් සදෙනෙකු බිහිකළ බැවින් ඔහු මා සමඟ වසන්නේය කියා ඔහුට සාබුලොන් යන නාමය තැබුවාය.
21ඉන්පසු ඈ දුවෙකු බිහිකර ඈට දීනා යන නාමය තැබුවාය.
22දෙවියන්වහන්සේ රාඛෙල් සිහිකොට ඈට කන්දී ඈ ගර්භිණී වෙන්ට සැලැස්වූසේක.
23ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: දෙවියන්වහන්සේ මාගේ නින්දාව පහකළසේකැයි කීවාය.
24තවද ඈ: ස්වාමීන්වහන්සේ තවත් පුත්‍රයෙකු මට එකතුකරනසේක්වයි කියා ඔහුට යෝසෙප් යන නාමය තැබුවාය.
25රාඛෙල් යෝසෙප් බිහිකළ පසු යාකොබ් ලාබන්ට කථාකොට: මාගේම ස්ථානයටද මාගේ රටටද යන පිණිස මා හරින්න.
26මා ඔබට වැඩ කොට ලබාගත් මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මට දී යන්ට හරින්න. මක්නිසාද මා විසින් ඔබට කළ මෙහෙය ඔබ දන්නෙහියයි කීය.
27එවිට ලාබන්: ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම් නැවතී යන්න. ඔබ නිසා ස්වාමීන්වහන්සේ මට ආශීර්වාදකළ බව නිමිත්තකින් මට පෙනී ගොස් තිබේයයි ඔහුට කීවේය.
28තවද ඔහු: ඔබේ කුලී නියම කරන්න, එය මම දෙන්නෙමියි කීවේය.
29එවිට යාකොබ්: මා ඔබට වැඩකළ හැටිත් ඔබේ ගවයන් මා ළඟ සිටිය හැටිත් ඔබ දන්නෙහිය.
30මක්නිසාද මා එන්ට පළමුවෙන් ඔබට තිබුණේ ස්වල්පයක්ය, දැන් එය බොහෝ සෙයින් වර්ධනයවී තිබේ; මා කොයි දෙසට හැරුණත් ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකළසේක. ඉතින් මාගේම පවුලටත් මා සපයන්නේ කවදාදැයි ඔහුට කීය.
31මා විසින් ඔබට කුමක් දිය යුතුදැයි ඔහු ඇසුවේය. එවිට යාකොබ්: ඔබ මට කිසිවක් දෙන්ට ඕනෑ නැත. ඉදින් මේක මට කරනවානම් මම නැවත ඔබේ රැළ පෝෂණය කොට බලාගන්නෙමි.
32මම අද ඔබේ මුළු රැළ අතරට ගොස් තිත් සහ ලප ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද එළුවන් අතරෙහි තිත් සහ ලප ඇති සියල්ලන්ද වෙන්කරන්නෙමි. එයාකාර එවුන් මාගේ කුලිය වන්නේය.
33මෙසේ, ඔබ ඉදිරියෙහි තිබෙන මාගේ කුලිය සඳහා ඔබ එන කල්හි, මාගේ ධර්මිෂ්ඨකම මින් පසු මා වෙනුවට උත්තර දෙනවා ඇත. එළුවන් අතරෙහි තිත් සහ ලප නැත්තාවූද බැටළුවන් අතරෙහි කළුපාට නොවූද එකෙක්වත් මා වෙත සම්බවීනම් ඌ සොරකම්කරනලදැයි ගණන්ගත යුතුයයි කීය.
34බලව, ඔබේ වචන ලෙස වෙතොත් කැමැත්තෙමියි කියා
35ලාබන් ඒ දවසේම රේඛාද ලපද ඇති එළුවන් සහ තිත්ද ලපද ඇති එළුදෙනුන්ද යන යම් තැනක සුදුපාට ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද වෙන් කොට තමාගේ පුත්‍රයන් අතට භාරදී,
36තමාද යාකොබ්ද අතරෙහි තුන් දවසක ගමන් ප්‍රමාණ දුර තැබීය. යාකොබ් ලාබන්ගේ ඉතිරි රැළවල් පෝෂණය කෙළේය.
37යාකොබ් වනාහි ලිබ්නෝ, ලූස්, ආර්මොන් යන ගස්වලින් අමු කෝටු රැගෙන සුදු රේඛා වශයෙන් කොටුවල සුද පෙනෙන හැටියට ඒවායේ පොතු ඇර,
38සිව්පාවන් බොන්ට ආකල පොතු ඇරිය කෝටු වතුර වත්කරන ඔරුවල උන් ඉදිරිපිට තැබුවේය; සිව්පාවෝ බොන්ට ආ කල ගැබ්ගත්හ.
39එසේ කෝටු ඉදිරියේදී ගැබ්ගෙන රේඛා සහ තිත්ද ලපද ඇතිවුන් බිහිකළෝය.
40යාකොබ් බැටළුපැටවුන් වෙන්කොට රැළවල සිව්පාවන්ගේ මුහුණු ලාබන්ගේ රැළේ රේඛා ඇති සතුන්ද කළුපාට ඇති සියල්ලන්ද දෙසට හැරෙවුවේය; තමාගේම රංචු ලාබන්ගේ රැළ අතරෙහි නොසිටුවා වෙන්කොට සිටෙවුවේය.
41තවද රැළේ වඩා ශක්තිමත් එවුන් ගැබ්ගන්න කල උන් කෝටු ඉදිරිපිටදී ගැබ්ගන්නා පිණිස ඔහු ඒ කෝටු උන්ගේ ඇස් ඉදිරිපිට වතුර ඔරුවල තැබුවේය.
42එහෙත් රැළ දුර්වලව සිටිය කල ඔහු ලී නොතැබුවේය. මෙසේ දුර්වල එවුන් ලාබන්ගේද ශක්තිමත් එවුන් යාකොබ්ගේද වූහ.
43ඒ මනුෂ්‍යයා අතිශයින් වර්ධනයවුණේය, ඔහුට රැළවල්ද දාසීහුද දාසයෝද ඔටුවෝද කොටළුවෝද වූවෝය.