Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල
2දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.
3ස්වාමීන්වහන්සේද: මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේයයි කීසේක.
4ඒ දවස්හි යෝධයෝ6:4 හෙබ්‍රෙව්: නෙඵීලිම්. පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.
5මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.
6තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.
7ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක.
8එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලැබුයේය. නෝවා නැව සෑදීම
9නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව6:9 හෙවත්, නිර්මලව. සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.
10නෝවාට දාව ෂෙම්, හාම්, යඵෙත් යන පුත්‍රයන් තුන්දෙනෙක් උපන්නෝය.
11පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.
12දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දූෂ්‍යව තිබුණාය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍යකරගන සිටියෝය.
13දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ ස���යල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි.
14ඔබ ගොඵෙර් ලීවලින් නැවක් සාදාගන්න; නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාන්න.
15ඔබ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිග රියන් තුන්සියයක්ය, පළල රියන් පනසක්ය, උස රියන් තිහක්ය.
16නැවට කවුළුවක් සාදවා ඉහළින් ඒක රියනකින් නිමකරන්න; නැවේ දොර පැත්තකින් සාදන්න; පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුද ඇතුව ඒක සාදන්න.
17බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.
18එහෙත් ඔබ සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වන්නෝය.
19තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් ඔබ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න.
20ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගා යන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් ඔබ වෙතට පැමිණෙන්නෝය.
21කන්නාවූ සියලු ආකාර ආහාරයෙන් ඔබ වෙතට රැස්කරගන්න; ඒවා ඔබටද උන්ටද භෝජන පිණිස වන්නේයයි කීසේක.
22නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.