Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1ස්වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: ඔබද ඔබේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද ඔබ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.
2මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත් දෙනෙකු බැගින්ද අපවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද
3ආකාශ පක්ෂීන්ගෙනුත් ගෑනු පිරිමි සතුන් සත් සත් දෙනෙකු බැගින්ද ඔබ වෙතට ගන්න.
4මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
5නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය.
6පොළොවෙහි ජලගැල්ම වූ කල්හි නෝවා අවුරුදු හසියයක් වයස්ව සිටියේය.
7ජලගැල්ම නිසා නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වූවෝය.
8පවිත්‍ර මෘගයන්ගෙන්ද අපවිත්‍ර මෘගයන්ගෙන්ද පක්ෂීන්ගෙන්ද භූමියෙහි බඩගා යන සියල්ලන්ගෙන්ද ගෑනු පිරිමි සතුන්
9දෙන්න දෙන්නා බැගින් දෙවියන්වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා වෙත නැවට ඇතුල්වූවෝය.
10ඒ සත් දවසට පසු ජලගැල්ම පොළොවෙහි විය.
11නෝවාගේ ජීවිතයේ හසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.
12දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වැස්සේය.
13එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය;
14ඔව්හුද එක එක වර්ගයේ සියලු මෘගයෝද එක එක වර්ගයේ සියලු සිව්පාවෝද එක එක වර්ගයේ පොළොවෙහි බඩගා යන සියල්ලෝද එක එක වර්ගයේ සියලු පක්ෂීහුද සියලු වර්ගවල සියලු ��ුරුල්ලෝද ඇතුල්වූවෝය.
15මෙසේ ජීවන හුස්ම ඇති මාංසමය සියල්ලන්ගෙන් දෙන්න දෙන්නා බැගින් නෝවා වෙත නැවට ඇතුල්වූවෝය.
16ඇතුල්වූ සත්වයෝ දෙවියන්වහන්සේ ඔහුට අණකළ ලෙස මාංසමයවූ සියල්ලන්ගෙන් ගෑනු පිරිමි වශයෙන් ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ඔහු ඇතුල්කොට දොර වැසූසේක.
17ජලගැල්ම සතළිස් දවසක් පොළොවෙහි විය; ජලය වැඩිව නැව ඉල්පවිය, ඒක පොළොවෙන් ඉවත්ව ගියාය.
18ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය.
19ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය.
20කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය.
21පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය.
22තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය.
23මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය.
24ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.