Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1තවද දෙවියන්වහන්සේ නෝවාද නැවෙහි ඔහු සමඟ සිටියාවූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද සිහිකළසේක. දෙවියන්වහන්සේ පොළොව පිට හුළඟක් ගසන්ට සැලැස්වූසේක, එවිට ජලය අඩුවිය;
2ගැඹුරේ උල්පත්ද අහසේ කවුළුද පියනලද්දේය; අහසෙන් වර්ෂාවද නවත්වනලද්දේය.
3ජලය නොකඩව පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩුවිය.
4නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය.
5දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය.
6සතළිස් දවසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව හැරියේය.
7ඔහු කපුටුවෙකු පිටතට යැවීය, ඌ පිටතට ගොස් පොළොවෙන් ජලය සිඳෙන තුරු ඔබ මොබ ගියේය.
8ඔහු භූමිය මතුපිටින් ජලය බැසගියාදැයි බලන පිණිස තමා වෙතින් පරෙවියෙකු යැවීය;
9එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිඟුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය.
10ඔහු තව සත්දවසක් බලා සිට නැවතත් පරෙවියා නැවෙන් පිටතට ඇරියේය;
11පරෙවියා සවස් වේලෙහි ඔහු වෙතට ආවේය; බලව, අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැනගත්තේය.
12ඔහු තව සත් දවසක් බලාසිට පරෙවියා පිටතට ඇරියේය; ඌ නැවත ඔහු වෙතට තවත් හැරී නාවේය.
13තවද හසිය එක්වෙනි අවුරුද්දේ පළමුවෙනි මස පළමුවෙනි දින ජලය පොළොව මතුපිටින් සිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වැස්ම හැර බැලුවේය, බලව, භූමිතලය වියළී තිබුණාය.
14දෙවෙනි මස විසිසත් වෙනි දින පොළොව වියළී තිබුණාය.
15එවිට දෙවියන්වහන්සේ නෝවාට කථාකොට:
16ඔබද ඔබ සමඟ ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයෝද ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවෙන් පිටතට එන්න.
17ඔබ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද ��ොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස ඔබ සමඟ රැගෙන පිටතට එන්නැයි කීසේක.
18එවිට නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද පිටතට ආවෝය.
19සියලු මෘගයෝද සියලු බඩගා යන සත්වයෝද සියලු පක්ෂීහුද භූමියෙහි හැසිරෙන සියල්ලෝද උන්ගේ ජාති ප්‍රකාරයට නැවෙන් පිටතට ගියෝය.
20නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.
21ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.
22පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්රියද නොනවතින්නේයයි කීසේක.