Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
29 verses
1තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: ඔබ සැම සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න;
2ඔබ සැම ගැන භයත් ඔබ සැම ගැන තැතිගැන්මත් පොළොවේ සියලු මෘගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය; තවද භූමිය පිට බහුලව හැසිරෙන සියල්ලෝද මුහුදේ සියලු මත්ස්‍යයෝද ඔබ සැම අතට භාරදෙනලද්දෝය.
3එහා මෙහා යන පණ ඇති සියල්ල ඔබ සැමට ආහාර වන්නේය; නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම ඔබ සැමට දුනිමි.
4නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය.
5සැබවින් ඔබ සැමගේ ජීවිතය වන ඔබ සැමගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි.
6දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.
7ඔබ සැම වනාහි සඵලවෙමින් බෝවෙන්න: පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙන්නැයි ඔවුන්ට කීසේක.
8දෙවියන්වහන්සේ නෝවාටද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ටද කථාකොට:
9බලව, මම ඔබ සැම සමඟත් ඔබ සැමට පසුව ඔබ සැමගේ වංශය සමඟත්
10ඔබ සැම වෙත සිටින පණ ඇති සියලු සත්වයන් වූ පක්ෂීන්ද ගවයන්ද ඔබ සැම සමඟ සිටින පොළොවේ සියලු මෘගයන්ද නැවෙන් පිටව යන පොළොවේ සියලු මෘගයන්ද සමඟත් මාගේ ගිවිසුම පිහිටුවමි.
11ඔබ සැම සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ජලගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය; පොළොව නාස්තිකරන පිණිස ජලගැලීමක් තවත් නොවන්නේයයි කීසේක.
12තවද දෙවියන්වහන්සේ: මා සහ ඔබ සැමද ඔබ සැම සමඟ සිටින්නාවූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණනම් මේය:
13මාගේ දුන්න වලාකුළෙහි තබමි, ඒක මා සහ පොළොව අතරේ ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය.
14මා විසින් පොළොවට ඉහළින් වලාකුළක් පමුණුවන කල්හි ඒ දුන්න වලාකුළෙහි පෙනෙන්නේය,
15එවිට මා සහ ඔබ සැමද සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන්ද අතරෙහි ඇත්තාවූ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; වතුර කරණකොටගෙන සියලු සත්වයන් විනාශනොවන පිණිස තවත් ජලගැලීමක් නොවන්නේය.
16දුන්න වලාකුළෙහි වන්නේය; දෙවියන්වහන්සේ හා පොළොව පිට සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන් අතරෙහි ඇත්තාවූ සදාකාල ගිවිසුම සිහිවන පිණිස මම දුන්න දෙස බලන්නෙමියි කීසේක.
17තවද දෙවියන්වහන්සේ: මාද පොළොවෙහි සිටින මාංසමයවූ සියල්ලන්ද අතරෙහි මා විසින් පිහිටුවනලද ගිවිසුමේ ලකුණමේයයි නෝවාට කීසේක.
18තවද නැවෙන් පිටතට ගියාවූ නෝවාගේ පුත්‍රයෝනම්: ෂෙම්, හාම් සහ යඵෙත්ය. හාම් කානාන්ගේ පියාය.
19මේ තුන්දෙනා නෝවාගේ පුත්‍රයෝය. මොවුන්ගෙන් මුළු පොළොව ගහනව ගියේය.
20නෝවා ගොවිකම් කරන්ට පටන්ගෙන මිදි වත්තක් වැවුවේය.
21තවද ඔහු මුද්‍රිකපානය බී මත්ව තමාගේ කූඩාරමෙහි නග්නව උන්නේය.
22කානාන්ගේ පියාවූ හාම් තමාගේ පියාගේ නග්නභාවය දැක පිටත සිටි තමාගේ සහෝදරයන් දෙදෙනාට කීය.
23එවිට ෂෙම් සහ යඵෙත් වස්ත්‍රයක් ගෙන තමන්ගේ දෙවුර පිට ඒක තබාගෙන පස්සෙන් පස්සට ගොස් තමන් පියාගේ නග්නභාවය වැසුවෝය; ඔවුන්ගේ මුහුණු අහකට හැරී තිබුණු බැවින් ඔව්හු තමන් පියාගේ නග්නභාවය නුදුටුවෝය.
24නෝවා තමාගේ මුද්‍රිකපානයෙන් පිබිද තම බාල පුත්‍රයා තමාට කළ දේ දැනගත්තේය.
25ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමාගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නේයයි කීය.
26තවද ඔහු: ෂෙම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා; කානාන් ඔහුට දාසයෙක් වේවා.
27දෙවියන්වහන්සේ යඵෙත්ගේ සීමා විශාලකරනසේක්වා, ඔහු ෂෙම්ගේ කූඩාරම්වල වාසය කෙරේවා; කානාන් ඔහුගේ දාසයා වේවයි කීය.
28නෝවා ජලගැලීමට පසු තුන්සිය පනස් අවුරුද්දක් ජීවත් විය.
29නෝවාගේ සියලු දවස් අවුරුදු නවසිය පනසක්ය; ඔහු මළේය.