Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
25 verses
1දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්‍රකාශනයය.
2නුඹ තුළ මැරුම්කෑ අය කඩුවෙන් මරනලද්දෝවත් සටනේදී මැරුණෝවත් නොවෙති.
3නුඹේ සියලු අධිපතියෝ එක්ව පලාගිය නුමුත් දුනුකාරයන්ට අසුවුණෝය; දුරට පලාගියාවූ, නුඹ තුළ සම්බවුණු සියල්ලෝ අසුවුණෝය.
4එබැවින්: මා කෙරෙන් ඉවත බලන්න. මම තද ශෝකයෙන් අඬන්නෙමි; මාගේ සෙනඟවූ දුවගේ නාස්තිය ගැන මා සනසන්ට වෑයම් නොකරන්නැයි කීමි.
5මක්නිසාද ඒ දවස සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් වූ දර්ශන මිටියාවතෙහි කැලඹීමේද පාගාදැමීමේද වියවුලේද දවසක්ය; පවුරු බිඳ දැමීමක් හා කඳුවලට මොරගැසීමක්දවේ.
6ඒලාම් වනාහි රථ සේනාවද අසරුවන්ද ඇතුව සිට ඊකොපුව දැරුවේය; කීර්ද පලිහෙන් වැස්ම ඇරියේය.
7මෙසේ නුඹේ ඉතා හොඳ මිටියාවත් රථවලින් පිරී තිබුණේය, අසරුවෝද දොරටුව ඉදිරියෙහි සිටගත්තෝය.
8යූදාගේ වැස්ම අහක්කරනලද්දේය, නුඹ ඒ දවසෙහි වනය නම් ගෘහයේ යුද්ධායුධ දෙස බැලුවෙහිය.
9දාවිත්ගේ නුවර බිඳුම් බොහෝ බව නුඹලා දැක පහළ පොකුණේ දිය රැස්කළහුය.
10යෙරුසලමේද ගෙවල් ගණන්කොට පවුර සවිකරන පිණිස ගෙවල් බිඳ හෙළූය.
11පරණ පොකුණේ වතුරට පවුරු දෙක අතරේ ජලාශයක් සෑදුවහුය. එහෙත් ඒක කළ තැනන්වහන්සේ දෙස නුඹලා බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක තැනූ තැනන්වහන්සේ සැලකුවේවත් නැත.
12ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් අඬගැසූසේක.
13එහෙත් ප්‍රීති සන්තෝෂයත් ගොනුන් සහ බැටළුවන් මැරීමත් මස් කෑමත් මුද්‍රිකපානය බීමත් තිබේ. අපි කමු, බොමු, මක්නිසාද හෙට මියන්නෙමුයයි කියති.
14සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කනට එළිදරව් කරමින් කියනසේක්: නුඹලා නසිනතුරුම සැබවින් මේ අපරාධය නුඹලාගෙන් පහකරනු නොලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේකැයි වදාළසේක.
15සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: ගෘහාධිපතිවූ ෂෙබ්නා නම්වූ මේ ගබඩාකාරයා ළඟට නුඹ ගොස් මෙසේ කියන්න,
16එනම්: නුඹට මෙහි ඇතිකම මොකද? නුඹ මෙහි සොහොනක් කොටාගත්තේ මෙහි නුඹේ කවුරු සිටින නිසාද? උස්තැනක තමාට සොහොනක් කොටා ගන්නේය, පර්වතයෙහි තමාට වාසස්ථානයක් කපාගන්නේය!
17බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ හෙළාදමා, වැස්මකින් නුඹ වසා,
18නුඹ අකුළා ගුළියක් කර, විශාල දේශයකට පන්දුවක්මෙන් සැබවින්ම නුඹ වීසිකරදමනසේක; එහිදී නුඹ නසින්නෙහිය, නුඹේ ස්වාමියාගේ වංශයේ ලජ්ජාවට හේතුවූ තැනැත්ත, එහිදී නුඹේ තේජසේ රථ තිබෙන්නේය.
19මම නුඹේ නිලයෙන් නුඹ නෙරපාදමන්නෙමි, ඔහු නුඹේ ඉඩමෙන්ද නුඹ ඇද දමන්නේය.
20තවද ඒ දවසෙහි හිල්කියාගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවූ එලියාකීම් අඬගස්වා,
21නුඹේ සළුව ඔහුට අඳවා, නුඹේ පටියෙන් ඔහු සවිකොට, නුඹේ ආණ්ඩුව ඔහු අතට භාරදෙන්නෙමි. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා වංශයටත් පියෙක් වන්නේය.
22දාවිත්ගේ වංශයේ යතුරද ඔහුගේ කර පිට තබන්නෙමි; කිසිවෙක් නොපියන ලෙස ඔහු අරින්නේය; කිසිවෙක් නාරින ලෙස ඔහු පියන්නේය.
23මම සවි තැනක ඇණයක් මෙන් ඔහු පිහිටුවන්නෙමි; ඔහු වනාහි තමාගේ පිය වංශයට ඉසුරුමත් ආසනයක් පිණිස වන්නේය.
24ඔහුගේ පියාගේ වංශයේ මුළු ඉසුරවූ වංශය සහ පෙළපතද පාත්‍රා භාජන පටන් කළගෙඩි දක්වා සියලු කුඩා භාජනද ඔහු පිට එල්ලා තබනවා ඇත.
25ඒ දවසෙහි සවි තැනක පිහිටුවා තිබුණු ඇණය පහවන්නේය; එය කපා දමනු ලැබ වැටෙන්නේය, ඒ පිට තිබුණ බර සිඳදමනු ලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද ස්වාමීන්වහන්සේ එසේ වදාළසේක.