Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයය.
2මුහුදු බඩ වැසියෙනි, නිශ්ශබ්ද වෙන්න; මුහුදේ යාත්‍රාකරන ශීදොන් වෙළඳුන් විසින් නුඹ පූර්ණකොට තිබේ.
3මහා ජලයන් කරණකොටගෙන ෂිහොර්හි බීජ වන නයිල් ගංගාවේ අස්වැන්න ඇගේ ආදායම විය; ඈ ජාතීන්ගේ වෙළඳාම්පළ වූවාය.
4එම්බා ශීදොන්, ලජ්ජාවෙන්න; මක්නිසාද මුහුද, එනම් මුහුද බලකොටුව කථාකොට: මම බිහිකරන වේදනා නොවින්දෙමි, දරුවන් බිහිනොකළෙමි, තරුණයන් පෝෂ්‍ය නොකෙළෙමි, කන්‍යාවන් ඇති නොකෙළෙමියි කීවාය.
5එය මිසරයට සැලවූ කල තීර්හි ආරංචිය ගැන ඔවුන්ට තද ශෝක ඇතිවන්නේය.
6තර්ෂිෂ්ට යාත්‍රාකරන්න; මුහුදුබඩ වැසියෙනි, කෑමොරගසන්න.
7පුරාණ කාලයේ සිට පවත්නාවූ, වාසය පිණිස බොහෝ දුර පයින් ගමන්ගත් නුඹලාගේ ප්‍රීතිමත් නුවර මේකද?
8ඔටුනු පළඳ වන නුවරවූ තීර්ට විරුද්ධව මේක යෝජනාකළේ කවුද? ඇගේ වෙළෙන්දෝ අධිපතියෝය, ඇගේ ගනුදෙනුකාරයෝ පොළොවේ නම්බුකාරයෝය.
9සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක.
10එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් නුඹේ දේශයෙහි පැතිරෙන්න; නුඹ අවටින් බැම්මක් තවත් නැත.
11උන්වහන්සේ තමන්ගේ හස්තය මුහුද කෙරෙහි දිගුකර රාජ්‍යයන් සෙල්වූසේක. කානාන්හි බලකොටු නැතිකරන ලෙස ස්වාමීන්වහන්සේ ඒ ගැන අණකළසේක.
12බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.
13කල්දිවරුන්ගේ දේශය බලනු; ඒ සෙනඟ තවත් නැත. අෂූර්වරුන් විසින් ඒක වන මෘගයන්ට නියමකරනලද්දේය. ඔව්හු තමුන්ගේ බලකොටු ගොඩනගා, එහි මාළිගාවල් නාස්තිකරදමා, එය ජරාවාසයක් කළෝය.
14තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න. මක්නිසාද නුඹලාගේ බලකොටුව නාස්තිවිය.
15තවද ඒ දවසෙහි එක රජෙකුගේ දවස් මෙන් තීර් අවුරුදු සැත්තෑවක් මතක නැතිවන්නේය. අවුරුදු සැත්තෑවකට පසුව වේශ්‍යාවගේ ගීතිකාව මෙන් තීර්ට සිදුවන්නේය.
16එම්බා මතකනැතිවුණු වේශ්‍යාව, වීණාවක් ගෙන නුවර ඇවිද, නුඹ ගැන මතක්වෙන පිණිස මිහිරි ගී නාද කොට, බොහෝසේ ගී කියන්න.
17තවද අවුරුදු සැත්තෑවකට පසුව ස්වාමීන්වහන්සේ තීර් දෙස බලනසේක, ඈද තමාගේ කුලියට හැරී ඇවිත්, පොළෝ මතුපිට ලෝකයේ සියලු රාජ්‍යවල් සමඟ ගනුදෙනුකරනවා ඇත.
18ඇගේ වෙළඳාමද කුලියද ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.