Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
23 verses
1බලව, ස්වාමීන්වහන්සේ පොළොව හිස්කොට පාළුකරනසේක, ඒක පෙරළා එහි වැසියන් විසුරුවාදමනසේක.
2සෙනඟට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ ස්වාමියාටත් වැඩකාරීට මෙන් ඇගේ ස්වාමිදුවටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත් පොළීගන්නාට මෙන් පොළීදෙන්නාටත් සිදුවන්නේය.
3පොළොව සහමුලින්ම හිස්කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ වචන වදාළසේක.
4පොළොව වැලපී මලානිකවේ, ලෝකය ක්ලාන්තව මලානිකවේ, පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්තවෙති.
5පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.
6එබැවින් ශාපයෙන් පොළොව නාස්තිවී, එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරුවෙන හැටියට පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.
7අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති.
8රබන්වල ප්‍රීතිය නවතියි, ප්‍රීතිවන්නන්ගේ ඝෝෂාව අත්හිටියි, වීණාවේ ප්‍රීතිය නවතියි.
9ඔවුන් ගී කිය කියා මිදිරස බොන්නේ නැත; මද්‍යපාන බොන්නන්ට ඒවා තික්තවන්නේය.
10පාළුවූ නුවර කඩාදමා තිබේ. කිසිවෙක් ඇතුල් නොවන ලෙස සියලු ගෙවල් වසාතිබේ.
11මුද්‍රිකපානය නිසා වීථිවල කෑගැසීමක් තිබේ; මුළු ප්‍රීතිය අඳුරුවී, දේශයේ සන්තෝෂය පහව ගියේය.
12නුවර ඉතුරුව තිබෙන්නේ පාළුකමය, දොරටුව නාස්තිවන සේ පහර ලැබීය.
13මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක් මෙන්ද මිදිපල ක��ා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය.
14මොව්හු හඬනගා ප්‍රීතියෙන් මොරගසා ස්වාමීන්වහන්සේගේ මහන්තත්වය නිසා මුහුදේ සිට ශබ්ද පවත්වන්නෝය.
15එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමීන්වහන්සේටත් මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයටත් ගෞරවකරන්න.
16ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව. එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි.
17එම්බා පොළෝ වැසිය, භයානකකමක්ද වළක්ද මළපතක්ද නුඹ පිට තිබේ.
18තවද භය ඝෝෂාව නිසා පලායන්නා වළේ වැටෙන්නේය; වළෙන් ගොඩවෙන්නා මලපතට අසුවන්නේය. මක්නිසාද ඉහළ කවුළු ඇරී තිබේ, පොළොවේ අත්තිවාරම්ද සෙලවෙන්නේය.
19පොළොව සහමුලින්ම කැඩී තිබේ, පොළොව එහෙම පිටින්ම දියවී තිබේ, පොළොව අතිශයින් කම්පාවේ.
20පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.
21ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ උසස්ථානයෙහි සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළොවේ සිටින පොළොවේ රජවරුන්ටත් දඬුවම්කරනසේක.
22හිරකාරයන් වළක රැස්කර තබන්නාක්මෙන් ඔව්හු එකට හිරගෙයි වසාතබනු ලබන්නෝය, බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය.
23එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් රජකම්කරනසේක.