Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
15 verses
1කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ.
2ඇඹරුම් ගල්ගෙන පිටි අඹරන්න. නුඹේ මුහුණු වැස්ම අහක්කොට, පිට ඇඳුම ගළවා දමා, කකුල් නග්නකර, ගංගාවලින් එගොඩවෙන්න.
3නුඹේ නග්න භාවය ප්‍රකාශවන්නේය, නුඹේ ලජ්ජාවත් පෙනෙන්නේය. මම පළිගන්නෙමි, කිසි මනුෂ්‍යයෙකු පිළි නොගන්නෙමි.
4අපේ මිදුම්කාරයා නම් සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
5කල්දිවරුන්ගේ දියණිය, නිශ්ශබ්දව ඉඳ අන්ධකාරයට ඇතුල්වෙන්න. මක්නිසාද නුඹ: රාජ්‍යවල ස්වාමිදුවයයි තවත් කියනු නොලබන්නීය.
6මම මාගේ සෙනඟ කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි. නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය.
7මම සෑම කල්ම ස්වාමිදුවව සිටින්නෙමියි නුඹ කීවෙහිය. මෙසේ නුඹ මේ දේවල් සිතට ගත්තේවත්, එහි අන්තිමය සිහිකළේවත් නැත.
8ඉතින් සැප ජීවිකාවට ඇලුම්වූ, නොසැලකිලිකමින් වාසයකරන්නාවූ: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි කියාද මා වැන්දඹුවක් වෙන්නේවත් දරුවන් නැතිවීමක් අත්දකින්නේවත් නැතැයි කියාද සිත තුළ කියාගන්නාවූ නුඹ මේක අසන්න.
9නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය.
10මක්නිසාද නුඹේ දුෂ්ටකමෙහි නුඹ නොසැලකිලිව සිට: මා දකින කෙ��ෙක් නැතැයි කීවෙහිය; නුඹේ ප්‍රඥාව හා නුඹේ දැනගැන්ම කරණකොටගෙන නුඹ මුළාවී: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි නුඹේ සිත තුළ සිතාගත්තෙහිය.
11ඒ නිසා විපත්තිය නුඹ පිටට පැමිණෙන්නේය; ඒක මතුරා හරින්ට නුඹ නොදන්නෙහිය. නුඹට පහකරගන්ට බැරි නාස්තියක් නුඹ පිටට වැටෙන්නේය. නුඹ නොදන්න විනාශයක්ද හදිසියෙන් නුඹ පිටට පැමිණෙන්නේය.
12ඉතින් නුඹේ බාල වයසේ පටන් නුඹ විසින් වෙහෙස ඇතුව පුරුදුකළාවූ නුඹේ මන්ත්‍රද බොහෝවූ නුඹේ මායම්ද භාවිතාකරන්න; සමහරවිට නුඹට වාසි ලබාගත හැකිවන්නේය, සමහර විට නුඹ සතුරන්ට භය උපදවන්නෙහිය.
13නුඹේ බොහෝ මන්ත්‍රණවලින් නුඹ වෙහෙසවී සිටිනෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද අමාවක්වලදී කාරණා දන්වන්නෝද නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා.
14බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ඔව්හු ගිනිදැල්ලේ බලයෙන් තමුන්ම ගළවා නොගන්නෝය. එය ගිනි තපින්ට අඟුරක්වත් ළංව ඉන්ට ගින්නක්වත් නොවන්නේය.
15නුඹ යම් යම් දේ සමඟ වෙහෙසුණෙහිද ඒවා නුඹට එයාකාරවන්නේය. නුඹේ යෞවන වයසේ පටන් නුඹ සමඟ වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.