Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1ඉශ්රායෙල් යන නාමය දරන්නාවූ, යූදා උල්පතෙන් නික්මුණාවූ, සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත් නොවන නුමුත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන්කරන්නාවූ තැනැත්තන් වන යාකොබ්ගේ වංශය, මේක අසන්න.
2මක්නිසාද තමුන් ශුද්ධ නුවරට අයිතියයි කියාගන ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටිති.
3පළමු කාරණා පූර්වයේ පටන් දැන්වීමි; එසේය, ඒවා මාගේ මුඛයෙන් නික්මුණේය, මමද ඒවා ප්‍රකාශකෙළෙමි. මම ඒවා හදිසියෙන් කෙළෙමි, ඒවා සිදුවුණේය.
4නුඹ දැඩි බවත් නුඹේ බෙල්ල යකඩ නහරයක් බවත් නුඹේ නළල පිත්තල බවත් මා දන්නා බැවින්,
5මම පූර්වයේ පටන් නුඹට දන්වා, එය පැමිණෙන්ට පළමුවෙන් නුඹට ප්‍රකාශකෙළෙමි. එසේ කළේ: මාගේ දේව රූපය ඒවා කෙළේය කියාද මාගේ කැටයම් රූපය සහ මාගේ වාත්තු පිළිමයත් ඒවා නියම කෙළේය කියාද නුඹ නොකියන පිණිසය.
6නුඹ එය අසා තිබේ; මේ සියල්ල බලන්න; නුඹලාත් දන්වන්නේ නැද්ද? මෙතැන් පටන් අමුතු දේවල්ද නුඹ නොදන්නාවූ සඟවා තිබෙන දේවල්ද නුඹට ප්‍රකාශකරමි.
7පූර්වයේ පටන් නොව දැන්ම ඒවා උපදවනලද්දේය. බලව, මම ඒවා දැනගතිමියි නුඹ නොකියන පිණිස අද දවසට පළමුවෙන් නුඹ ඒවා නොඇසුවෙහිය.
8එසේය, නුඹ ඇසුවේවත් දැනගත්තේවත් නැත; එසේය, පූර්වයේ පටන් නුඹේ කන් අරිනු ලැබුවේවත් නැත. මක්නිසාද නුඹ ඉතා ද්‍රෝහිව ක්‍රියාකළ බවද කුසේ පටන් අපරාධකාරයෙකැයි නුඹට කියනලද බවද මම දැනගන සිටියෙමි.
9මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාදකරන්නෙමි, නුඹ සිඳ නොදමන පිණිස මාගේ ප්‍රශංසාව උදෙසා නුඹ ගැන එය ���වත්වන්නෙමි.
10බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උඳුණේදී නුඹ තෝරාගතිමි.
11මා නිසා, මා නිසාම, ඒක කරන්නෙමි; මක්නිසාද මාගේ නාමය කෙලහෙන්ට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි.
12එම්බා යාකොබ්, මා විසින් කැඳවාගත් තැනැත්තාවූ ඉශ්රායෙල්, මට ඇහුම්කන්දෙන්න. මම [සදාකල්] සිටින්නාවූ තැනන්වහන්සේය; මම පළමුවෙනියාය; අන්තිමයාත් මමය.
13එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.
14නුඹලා සියල්ලෝම රැස්වී අසන්න; ඔවුන් අතරෙන් මේ දේ දැන්නුවේ කවුද? ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක. ඔහු උන්වහන්සේගේ කැමැත්ත බබිලෝනිය කෙරෙහි ඉෂ්ටකරනවා ඇත, ඔහුගේ හස්තය කල්දිවරුන් පිටට පැමිණෙන්නේය.
15මමම කථාකෙළෙමි; එසේය, මම ඔහු අඬගසාගතිමි. ඔහු ගෙන්වාගතිමි, ඔහු තමාගේ මාර්ගය සඵලකරගන්නේය.
16මා ළඟට ඇවිත් මේක අසන්න; මා පටන්ගැන්මේ සිට රහසින් කථාකළා නොවේය; ඒක ඇතිවු කාලයේ සිට ම එහි සිටිමි. දැනුදු ස්වාමිවූ දෙවියන්වහන්සේ මාත් උන්වහන්සේගේ ආත්මයත් එවූසේක.
17නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.
18අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.
19නුඹේ වංශය වැලි මෙන්ද නුඹෙන් පැවත එන්නෝ එහි වැලිඇට මෙන්ද වන්නෝය. ඔහුගේ නම මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේවත් නැති කරනු ලබන්නේවත් නැත.
20බබිලෝනියෙන් පිටතට යන්න, කල්දිවරුන් වෙතින් දුවන්න; ප්‍රීතිමත් හඬින් මෙය දන්වා, ප්‍රකාශකර, පොළොවේ කෙළවර දක්වා එය පතළ කරන්න. එනම්: ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවාවූ යාකොබ් මිදූසේක.
21උන්වහන්සේ ඔවුන් කාන්තාරය මැදින් ගෙනගිය විට ඔවුන්ට පිපාසාවුණේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වූසේක. උන්වහන්සේ පර්වතය විවරකළ විට වතුර ගලා ආයේයයි කියන්න.
22දුෂ්ටයන්ට සමාදානය නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.