Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
29 verses
1එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2ඔබ සැම කොපමණ කල් මාගේ ආත්මය වෙහෙසමින්, වචනවලින් මා පොඩිකරන්නහුද?
3දැන් දස වරක් ඔබ සැම මට නින්දා කළහුය; ලජ්ජා නැතුව මට අයුක්තිය කළහුය.
4මා ඇත්තටම වැරදි කළා නම්, මාගේ වැරැද්ද පවතින්නේ මා කෙරෙහිමය.
5ඔබ සැම සැබෑවටම මට විරුද්ධව උසස් වෙන්ට නම්, මාගේ නින්දාව මට විරුද්ධව ඔප්පුකරන්න.
6ඉතින් දෙවියන්වහන්සේ මාගේ කාරණා පෙරළා, තමන් දැල මා වටකර හෙළා තිබෙන බව දැනගන්න.
7මෙන්න, මා අයුත්ත ගැන මොරගසන නුමුත්, මට උත්තරයක් නැත. පිහිට ඉල්ලා මොරගසන නුමුත් යුක්තිය ඉෂ්ටවීමක් නැත.
8මා පිටත නොයන හැටියට උන්වහන්සේ මාගේ පාර අහුරා, මාගේ මාවත්වල අන්ධකාරය තබා තිබේ.
9උන්වහන්සේ මාගේ ඉසුර මාගෙන් උදුරාදමා, මාගේ හිසෙන් ඔටුන්න පහකර තිබේ.
10මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක.
11උන්වහන්සේ තමන් උදහස මට විරුද්ධව අවුළුවා, තමන්ගේ එදිරිකාරයෙකු ලෙස මා ගණන්ගන්නාසේක.
12උන්වහන්සේගේ හමුදාවෝ එක්ව ඇවිත් මට විරුද්ධව තමුන්ගේ මාර්ගය උසට ගොඩනගා, මාගේ කූඩාරම වටකරින් කඳවුරු බඳිති.
13උන්වහන්සේ මාගේ සහෝදරයන් මා වෙතින් දුරුකළසේක, මාගේ ඇඳුනුම්කාරයෝද මාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණෝය.
14මාගේ නෑයෝ අහක්වී, මාගේ හිතේසි මිත්‍රයෝ මා මතක නැතිකළෝය.
15මාගේ ගෙදර නැවතී සිටින්නෝද මාගේ වැඩකාරියෝද මා අන්‍යයෙකු කොට ගණන්ගනිති, ඔවුන්ට මම විදේශියෙකු මෙන්ය.
16මාගේ වැඩකාරයාට අඬගැසුවත් ඔහු මට උත්තර නොදෙයි, මාගේ මුඛයෙන් ඔහුට කන්නලව් කරන්ට සිදුවී තිබේ.
17මාගේ හුස්ම මාගේ භාර්යාවට අප්‍රියය, මාගේ මවුගේ කුසේ උපන් දරුවන්ට මම පිළිකුලක්ය.
18බාලයෝ පවා මා හෙළාදකිති; මා නැඟිටින්ට හදන විට ඔව්හු මට විරුද්ධව කථාකෙරෙති.
19මාගේ සියලු හිත මිත්‍රයෝම මට පිළිකුල්කරති. මා විසින් ප්‍රේමකළ අය මට විරුද්ධවී සිටිති.
20මාගේ ඇට මාගේ හමටත් මාංසයටත් ඇලී තිබේ, මා ඉතිරිවී ඉන්නේ මාගේ දත්වල හම පමණක් ඇතුවය.
21අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පාකරන්න, අනුකම්පාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ හස්තය මට පහරදුන්නේය.
22ඔබ සැම දෙවියන්වහන්සේ මෙන් මා පස්සේ එළවාගෙන එන්නෙත් මාගේ මාංසය කෑමෙන් තෘප්තියට නොපැමිණ සිටින්නෙත් මක්නිසාද?
23අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද! ඒවා පොතක සටහන්කර තබන්ටත්,
24යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද!
25එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.
26මේ මාගේ හම නැතුව ගියායින් පසු, මාගේ මාංසය නැතුව නුමුත් දෙවියන්වහන්සේ දකින්නෙමි.
27මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය. මාගේ හෘදයවස්තුව මා තුළෙහි ක්ෂයවී තිබේ.
28කාරණාවේ මුල මා තුළ සම්බවූ හෙයින්, අපි ඔහුට කෙසේ පීඩාකරමෝදැයි ඔබ සැම කියන්නහු නම්,
29කඩුවට භයවෙන්න; මක්නිසාද විනිශ්චයක් ඇති බව ඔබ සැම දැනගන්න පිණිස උදහස කඩුවේ දඬුවම පමුණුවන්නේයයි කීවේය.