Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
29 verses
1එකල නයමාතිය ශෝපර් උත්තරදෙමින් කියනුනේය:
2ඒ නිසා එනම් මා තුළ තිබෙන මාගේ ඉක්මන්කම නිසා මාගේ සිතිවිලිවලින් මට උත්තර ලැබෙන්නේය.
3මා ලජ්ජාවට පමුණුවන තරවටුව ඇසීමි, මාගේ තේරුම්ගැනීමේ ආත්මයද මට උත්තරදෙන්නේය.
4පුරාණයේ සිටම, මනුෂ්‍යයා පොළොවෙහි පිහිටුණ තැන් පටන්, වුණාවූ මේ කාරණාව වන,
5දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?
6ඔහුගේ උතුම්කම අහස දක්වා නැග්ගත්, ඔහුගේ ඉස වලාකුල්වලට හැපුණත්,
7ඔහුගේම අශූචි මෙන් ඔහු සදාකාලයටම නැතිවී යන්නේය, ඔහු දුටු අය: ඔහු කොයිදැයි අසන්නෝය.
8ඔහු හීනයක් මෙන් පහවී ගොස් නොපෙනී යන්නේය. රාත්‍රියේ දර්ශනයක් මෙන් පන්නනු ලබන්නේය.
9ඔහු දුටු ඇස තවත් ඔහු නොදකින්නේය; ඔහුගේ ඉඩමෙහිද ඔහු තවත් නොපෙනෙන්නේය.
10ඔහුගේ දරුවෝ දුප්පතුන්ගේ කරුණාව සොයන්නෝය, ඔහුගේ අත් ඔහුගේ සම්පත් ආපසු දෙන්නේය.
11ඔහුගේ ඇට ඔහුගේ යෞවනභාවයෙන් පිරී තිබෙන නුමුත්, එය ඔහු සමඟ ධූලියෙහි වැදහෙන්නේය.
12දුෂ්ටකම ඔහුගේ මුඛයෙහි මිහිරිව තිබෙන නුමුත්, ඔහු ඒක තමාගේ දිව යට සඟවා ගන්න නුමුත්;
13ඒක අත් නොහැර ඉතුරුකොට තමාගේ මුඛය තුළ තබාගන්න නුමුත්;
14ඔහුගේ කෑම ඔහුගේ අතුණුවල වෙනස්වී, ඔහු තුළ සර්පයන්ගේ විෂ වන්නේය.
15ඔහු වස්තු ගිලගත් නුමුත් ඒවා වමාරන්නේය. දෙවියන්වහන්සේ ඒවා ඔහුගේ බඩෙන් පිටකරනසේක.
16ඔහු සර්පයන්ගේ විෂ උරාබොන්නේය. පොළඟාගේ දිවෙන් ඔහු මැරුම්කන්නේය.
17ඔහු ඔයවල්ද මීපැණි හා ගිතෙල් ගලායන ගංගාද නොදකින්නේය.
18ඔහු උත්සාහකොට ලබාගත් දේ භුක්ති නොවිඳ ආපසු දෙන්නේය; තමා ලබාගත් සම්පත් ප්‍රමාණයට ප්‍රීති නොවන්නේය.
19මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩා කොට ඔවුන් අත්හැරියේය; තමා ගොඩ නොනැගූ ගෙවල් ඔහු බලාත්කාරයෙන් ගත්තේය.
20ඔහු තමාගේ ළය තුළ නිශ්චලය නැතුව සිටි බැවින්, තමා ප්‍රියවන දේවලින් කි��ිවක් ගළවා නොගන්නේය.
21ඔහුගේ තෘෂ්නාවට ගොදුරු නොවූ දෙයක් නැත; එබැවින් ඔහුගේ සැපත නොපවත්නේය.
22ඔහු බහුලත්වයෙන් සෑහී සිටින කල ඔහුට හිඟවන්නේය. දුඃඛිතයන්ට පැමිණෙන හැම දුකම ඔහු පිටට පැමිණෙන්නේය.
23ඔහු තමාගේ බඩ පුරවාගන්ට හදන කල, දෙවියන්වහන්සේ තමන් බලවත් උදහස ඔහු පිට හෙළනසේක, ඔහු කෑම කන කල උන්වහන්සේ එය ඔහු පිටට වස්වනසේක.
24ඔහු යකඩ ආයුධයෙන් පලාගියත්, පිත්තල දුන්නෙන් ඔහු සිදුරුකරනු ලබන්නේය.
25ඔහු ඒක අදින විට ඒක ඔහුගේ ඇඟෙන් නික්මෙන්නේය. එසේය, දිලිසෙන තුඩ ඔහුගේ පිතෙන් පිටවෙන්නේය; භීති ඔහු කෙරෙහි වන්නේය.
26ඔහුගේ නිධාන වෙනුවට සියලු ආකාර අන්ධකාරය රැස්කර තිබේ. මනුෂ්‍යයා විසින් නොදැල්වූ ගින්නක් ඔහු දවා දමා, ඔහුගේ කූඩාරමෙහි ඉතිරිව තිබෙන දේ නාස්තිකරන්නේය.
27අහස ඔහුගේ අයුතුකම් එළිදරවු කරන්නේය. පොළොවද ඔහුට විරුද්ධව නැගිටින්නේය.
28ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.
29දුෂ්ට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන කොටසත් දෙවියන්වහන්සේ ඔහුට නියමකළ උරුමයත් මේයයි කීවේය.