Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
41 verses
1එවිට ස්වාමීන්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් මෙසේ කීසේක:
2අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?
3ඉතින් පුරුෂයෙකු මෙන් ඔබේ ඉඟටිය බැඳගෙන, මා ඔබෙන් අසන විට මට කියන්න.
4මා පොළොව පිහිටෙවු කල ඔබ කොතැන සිටියෙහිද? ඔබ දන්නෙහිනම් කියන්න.
5ඒකේ මිමි නියමකළේ කවුද? ඔබ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද?
6ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකාකරමින්,
7දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද?
8මුහුද බිහිවී ගැබින් නික්ම ආ විට, ඒක දොරවලින් වසා තැබුවෙත් කවුද?
9මා විසින් වලාකුල් ඒකේ වස්ත්‍රයද ඝනාන්ධකාරය ඊට වෙළන පටියද කොට තබා,
10ඊට මාගේ මායිම නියමකර, අගුල් සහ දොරවල්ද තබා:
11මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; ඔබේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
12එළිය පොළොවේ කෙළවරට පැමිණීමෙන් දුෂ්ටයන් එතැනින් හෙළාදමනු ලබන හැටියට,
13ඔබේ සෑම දවස්වල ඔබ උදයට අණකොට අලුයමට ඒකේ ස්ථානය දැන්නෙවුවෙහිද?
14එය මුද්‍රා තබනලද මැටි මෙන් සියල්ල වෙනස්වී, වස්ත්‍රයකින් පැළදී තිබෙන්නාක්මෙන් පෙනෙන්නේය.
15එවිට දුෂ්ටයන්ගේ එළිය ඔවුන්ගෙන් පහවන්නේය, එසෙවූ හස්තයද බිඳදමනු ලබන්නේය.
16ඔබ මුහුදේ උල්පත් ළඟට පැමිණියෙහිද? නොහොත් ගැඹුරේ රහස් තැන්වල ඇවිද්දෙහිද?
17මරහුගේ දොරටු ඔබට ප්රකාශවීද? නොහොත් මරණ සෙවණේ දොරටු ඔබ දුටුවෙහිද?
18ඔබ පොළොවේ පළල කල්පනාකර බැලුවෙහිද? ඒ සියල්ල දන්නෙහිනම් කියන්න.
19ඔබ එළිය ඒකේ මායිමට ගෙනයන පිණිසත්, ඒකේ නිවාසයට යන මාවත් ඔබ විසින් තේරුම්ගන්නා පිණිසත්.
20එය වාසයකරන තැනට යන මාර්ගය කොහේද? අන්ධකාරයේ ස්ථානයත් කොතැනද?
21ඔබ එවකට ඉපිද සිටිය බැවින්ද ඔබේ දවස් ගණනත් බොහෝ බැවින්ද නිසැකව ඔබ දන්නෙහිය!
22කැලඹීමේ කාලයට��� යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන
23හිම ගබඩා ළඟට ඔබ පැමින්නෙහිද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවෙහිද?
24එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?
25මනුෂ්‍යයෙකු නැති දේශයකටත් කිසි මනුෂ්‍යයෙකු නැති කාන්තාරයටත් වැසි වස්වා,
26වනයද පාළු තැන්ද සනහා, තෘණ වැවෙන්ට සැලැස්වීමට,
27වර්ෂාවට පාරවල්ද අකුණුවල විදුලියට මාර්ගයක්ද විවරකළේ කවුද?
28වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බින්දු ඉපදෙවුවේ කවුද?
29හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද? අහසේ සිනිදු හිම ජනිතකළේ කවුද?
30ගලක් ඇතුළෙහි මෙන් වතුර සැඟවී තිබේ, ගැඹුරේ මතුපිටද මිදී තිබේ.
31හත්දින්නේ තරුවැළ බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් මුවසිරසේ බැඳුම් මුදන්ට පුළුවන්ද?
32මස්සරොත් 38:32 එනම්, රාශිලග්න. ඒවායේ නියම කාලයට නික්මවන්ට ඔබට පුළුවන්ද? පිරිවර සහිත මහ වලසා ගෙනයන්ට ඔබට පුළුවන්ද?
33ඔබ අහසේ නියෝග දන්නවාද? නොහොත් ඒකේ ආණ්ඩුබලය පොළොව කෙරෙහි පිහිටුවන්ට ඔබට පුළුවන්ද?
34වතුර රාශියක් ඔබ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට ඔබේ හඬ නගන්ට පුළුවන්ද?
35විද්යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට ඔබට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි ඔබට කියනවා ඇද්ද?
36අධ්‍යාත්මයෙහි ප්‍රඥාව තැබුවේ කවුද? නොහොත් සිතට නුවණ දුන්නේ කවුද?
37ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද,
38ප්‍රඥාවෙන් වලාකුල් ගනින්ට කාට පුළුවන්ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද?
39ඔබ සිංහධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහිද? තරුණ සිංහයන් උන්ගේ ගුහාවල ලැග,
40කැලෑවේ සැඟවී බලා සිටින විට, ඔබ උන්ගේ ආශාව සංසිඳවනවාද?
41කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන්වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයාදෙන්නේ කවුද?