Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
30 verses
1පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය ඔබ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව ඔබට දැනගන්ට පුළුවන්ද?
2උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට ඔබට පුළුවන්ද? උන් බිහිකරන කාලය ඔබ දන්නවාද?
3උන් නැමී උන්ගේ පැටවුන් බිහිකර උන්ගේ රුදා පහකරගනිති.
4උන්ගේ පැටව් ලොකුවී, එළියෙහි වැඩී, පිටත්ව ගොස් නෑවිත් සිටිති.
5වල් කොටළුවා නිදහස්කර හැරියේ කවුද? නොහොත් වල් කොටළුවාගේ බැඳුම් මිදුවේ කවුද?
6මම කාන්තාරය උගේ ගෙයද ලුණු භූමිය උගේ වාසස්ථානයද කොට නියමකෙළෙමි.
7ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.
8කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.
9කුළුහරකා ඔබට වැඩකරන්ට කැමතිවේද? ඌ ඔබේ ගාලේ ලගිනවා ඇද්ද?
10කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් ඌ ඔබ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?
11උගේ ශක්තිය මහත් බැවින් ඔබ ඌ විශ්වාසකර, ඔබේ වැඩ ඌට භාරදෙන්නෙහිද?
12ඌ ඔබේ අස්වැන්න ගෙනැවිත් ඔබේ පාවරට එකතුකරනවා ඇත කියා ඔබ ඌ කෙරෙහි විශ්වාසය තබන්නෙහිද?
13පැස්බරාගේ පියාපත් ප්රීතිමත්ලෙස වැනෙයි, නුමුත් ඒ පියාපත් හා පිහාටු කරුණාවත්ද?
14නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර,
15ඒවා පයට පෑගෙන්ටත් වල් සතුන්ට පොඩිවෙන්ටත් පුළුවන් බව මතකනැතිකරන්නේය.
16උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත;
17මක්නිසාද දෙවියන්වහන්සේ උගෙන් ප්රඥාව වලක්වා, ඌට නුවණ නොදී ඇරියසේක.
18ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය.
19ඔබ අශ්වයාට වෙර දුන්නෙහිද? ලෙළදෙන කෙඳිවලින් උගේ බෙල්ල පැළදෙවුවෙහිද?
20ඌට පළඟැටියෙකු මෙන් පනින්ට සැලැස්සුවෙහිද? උගේ හේෂාවරයේ බලවත්කම භයංකරය.
21ඌ මිටියාවතෙහි කුරගසා, ශක්තිය නිසා ප්රීතිමත්වී, යුද්ධායුධවලට මූණපාන්ට යන්නේය.
22ඌ භයට සරදම්කොට තැති නොගෙන සිටින්නේය; කඩුවටද පිටු නොපාන්නේය.
23ඊකොපුවද දිලියෙන හෙල්ලයද කුඩා හෙල්ලයද ඌට වැදී ශබ්ද නගින්නේය.
24සැරකමෙන්ද කෝපයෙන්ද ඌ වේගයෙන් පැනයන්නේය; ඇසෙන්නේ හොරණෑ ශබ්දය බව ඌ විශ්වාස නොකර,
25ඇසෙන එක එක හොරණෑ ශබ්දයට ඌ: අහා! කියමින්, දුරදීම සටනටද සේනාපතීන්ගේ ගර්ජනාව හා ඝෝෂාවටද ඉව අල්ලයි.
26උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ ඔබේ නුවණින්ද?
27නොහොත් රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ ඔබේ අණටද?
28ඌ පර්වතය පිට වාසයකරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය.
29එතැන සිට ඌ ගොදුරු සොයන්නේය; දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය.
30උගේ පැටව්ද ලේ උරා බොති. මළකඳන් ඇති තැනම ඌ සිටින්නේයයි කීසේක.