Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
27 verses
1ඉතින් අඬගසන්න; ඔබට උත්තරදෙන කෙනෙක් ඇද්ද? ඔබ ශුද්ධ තැනැත්තන්ගෙන් කවරෙකු දෙසට හැරෙන්නෙහිද?
2මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.
3අඥානයා මුල් අදිනවා මම දුටිමි; නුමුත් වහාම ඔහුගේ නිවසට ශාප කෙළෙමි.
4ඔහුගේ දරුවෝ සුරක්ෂිතකමෙන් දුරුව සිටිති, ඔව්හු දොරටුවේදී පොඩිකරනු ලබති, ඔවුන් ගළවන්ට කිසිවෙක් නැත්තේය.
5ඔවුන්ගේ අස්වැන්න බඩගිනි ඇත්තා කන්නේය, එය කටුගස් අතරෙන් පවා ගන්නේය, මලපත ඔවුන්ගේ වස්තුව ගිලගන්ට කට අයා සිටියි.
6මක්නිසාද විපත්තිය ධූලියෙන් හට නොගනියි, දුක භූමියෙන් පැන නොනගියි
7එසේය, ගිනි පුපුරු උඩට නගින්නාක්මෙන් මනුෂ්‍යයා දුක් විදීමට උපදින්නේය.
8එහෙත් මම නම් දෙවියන්වහන්සේ දෙසට හැරී, මාගේ කාරණය දෙවියන්වහන්සේට භාරදෙන්නෙමි.
9සොයා දැනගන්ට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක.
10පහත්ව ඉන්නන් උසස්කරන්ටත්, ශෝකයෙන් ඉන්නන් සුරක්ෂිත කරන්ටත්,
11උන්වහන්සේ පොළොව පිටට වැසි වස්වනසේක, කෙත් පිටට වතුරත් එවනසේක.
12ප්‍රයෝගකාරයන්ගේ අතින් කරන්ට ගත් දෙය ඉෂ්ටකරන්ට බැරිවන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ උපායන් නිෂ්ඵලකරනසේක.
13උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම ප්‍රයෝගයෙන් අසුකරගන්නසේක. රැවටිලිකාරයන්ගේ මන්ත්‍රණයද පෙරළී යන්නේය.
14ඔව්හු දවාලේදී අන්ධකාරයට අසුවී, රාත්‍රියෙහි මෙන් ඉරමුදුන් වේලේදී අතගගා යති.
15එසේ උන්වහන්සේ ඔවුන්ගේ මුඛය නමැති කඩුවෙන්ද බලවන්තයාගේ අතින්ද දිළින්දා ගළවනසේක.
16මෙසේ දුප්පතාට බලාපොරොත්තුව තිබේ, අධර්මිෂ්ඨකමද තමාගේ කට පියාගනියි.
17බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම්කිරීම සුළු නොකරන්න.
18මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.
19විපත්ති හයකින් උන්වහන්සේ ඔබ ගළවනසේක; එසේය, හතකිනුත් ඔබට අනතුරක් නොවන්නේය.
20සාගතයේදී මරණයෙන්ද යුද්ධයේදී කඩුවේ බලයෙන්ද උන්වහන්සේ ඔබ මුදනසේක.
21දිව නමැති කසයෙන් ඔබ සඟවනු ලබන්නෙහිය; විනාශය එන කල භයනොවී සිටින්නෙහිය.
22විනාශයටත් කෑම හානියටත් ඔබ සිනාසෙන්නෙහිය; පොළොවේ මෘගයන්ටද භයනොවී සිටින්නෙහිය.
23මක්නිසාද වනයේ ගල් සමඟ පවා ඔබේ ගිවිසුමක් වන්නේය; වනයේ මෘගයෝද ඔබ සමඟ සමාදානයෙන් ඉන්නෝය.
24මෙසේ ඔබේ කූඩාරම සමාදානයෙන් තිබෙන බව ඔබ දැනගන්නෙහිය; ඔබේ ගාල බලන්ට ගිය කල කිසිවක් නැතිනුවූ බවද දකින්නෙහිය.
25තවද ඔබේ වංශය බොහෝ බවද ඔබෙන් පැවත එන්නන් පොළොවේ තණකොළ මෙන් වන බවද ඔබ දැනගන්නෙහිය.
26ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් ඔබ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
27මෙන්න මේක අපි සෝදිසිකර, එසේම බව දැනගතිමුව; ඔබ මේක අසා, ඔබ උදෙසාම දැනගන්නැයි කීවේය.