Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
30 verses
1එවිට යෝබ් උත්තරදෙමින් මෙසේ කීවේය:
2අනේ මාගේ ශෝකය කිරා බලන්ටත් මාගේ මුළු විපත්තිය තරාදිවල දමන්ටත් යෙදුණොත් යහපත!
3එවිට ඒක මුහුදේ වැලිවලට වඩා බරවන්නේය. එබැවින් මාගේ වචන අනුවණව තිබුණේය.
4මක්නිසාද සර්වපරාක්රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.
5තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද? පිදුරු ළඟ තිබෙද්දී ගොනා තප්පුලයිද?
6රස නැති දේ ලුණු නැතුව කනවාද? නොහොත් බිත්තර සුදු මදයේ රසක් ඇද්ද?
7මාගේ ආත්මය ඒවාට අතගසන්ට අකැමැතිය; ඒවා මට පිළිකුල් ආහාර මෙන්ය.
8අහෝ මාගේ ඉල්ලීම මට ලැබුණොත්, මා ආශාවන දෙය දෙවියන්වහන්සේ මට දුන්නොත් යහපත!
9එනම් දෙවියන්වහන්සේ මා පොඩිකරදමන්ට සතුටුවී, ස්වකීය හස්තිය දිඟුකොට මා සිඳ දමනසේක්වා!
10එසේ මට නැවත සැනසීම වන්නේය; මමද මා ඉතුරු නොකරන වේදනාවට ප්රීතිමත් වන්නෙමි. මක්නිසාද මම ශුද්ධ තැනැන්වහන්සේගේ වචන එපා නොකෙළෙමි.
11මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද? මා ඉවසිල්ලෙන් පසුවෙන පිණිස මාගේ අන්තිමය මොකක්ද?
12මාගේ ශක්තිය ගල්වල ශක්තියද? නොහොත් මාගේ මාංසය පිත්තලද?
13මාගේ උපකාරය මා තුළෙහි නැතිවී, පිහිට මාගෙන් සහමුලින් පහව ගියා නොවේද?
14ක්ලාන්තවෙන්ට ළංව සිටින අයට තම මිත්රයාගෙන් කරුණාව ලැබිය යුතුය; නොලැබුණොත්, ඔහු සර්වපරාක්රමයාණන් කෙරෙහි භයවීම අත්හරින්නේය,
15මාගේ සහෝදරයෝ ඔයක් මෙන්ද පහවී යන ඔයවල දිය පාරවල් මෙන්ද රැවටිලි ලෙස ක්රියාකළෝය.
16ඒවා හිම කැටිවලින් කළුපාට වන්නේය, හිම ඒවායෙහි නොපෙනී යන්නේය.
17ඒවා උණුවූ කල නොපෙනී යන්නේය. ග්රීෂ්මවෙනවිට ඒවායේ ස්ථානයෙන් හිදී යන්නේය.
18ඒවායේ මාර්ගවල යන ගමන්කාර හමුදාවෝ අහකට හැරී, කාන්තාරයට ගොස් විනාශ වන්නෝය.
19තේමාහි ගමන්කාර හමුදාවෝ ඒවා ගැන බලා සිටියෝය, ෂෙබාහි සමූහයෝ ඒව�� බලාපොරොත්තුවුණෝය.
20ඔව්හු බලාපොරොත්තුව සිට ලජ්ජාවට පත්වුණෝය; ඔව්හු එතැනට පැමිණ වියවුල්වූවෝය.
21එලෙසම දැන් ඔබ සැම හිස්කම වුණාහුය; ඔබ සැම භයංකරකමක් දැක භයවී ඉන්නහුය.
22මට යමක් දෙන්න කියාවත්, ඔබ සැමගේ දෙයින් මා උදෙසා තෑග්ගක් දෙන්නය කියාවත්,
23එදිරිකාරයාගේ අතින් මා ගළවා ගන්නය කියාවත්, පීඩාකරන්නන්ගේ අතින් මා මුදන්නය කියාවත් මම කීයෙම්ද?
24මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න.
25අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් ඔබ සැමගේ අවවාදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?
26බලාපොරොත්තුවක් නැත්තාගේ කීම සුළඟට යද්දී ඔබ සැම වචනවලට තරවටුකරන්ට සිතන්නහුද?
27එසේය, ඔබ සැම පියා නැත්තා ගැන පවා පසඇට දමා, ඔබ සැමගේ මිත්රයා වෙළඳාම් බඩුවක් කරගන්නහුය.
28ඉතින් කරුණාකර මා දෙස බලන්න; ඔබ සැමගේ මුහුණ ඉදිරියෙහිම මම බොරුකියම්ද?
29ඉතින් හැරෙන්න, කිසි අයුත්තක් සිද්ධ නොවේවා; එසේය, හැරෙන්න, මාගේ කාරණය සාධාරණය.
30මාගේ දිවෙහි අයුක්තියක් තිබේද? මාගේ රසේන්ද්රියයට නපුරු දේ දැනගන්ට බැරිද?