Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
31 verses
1සම්සොන් ගාසාට ගොස් එහි වේශ්‍යා ස්ත්‍රියක් දැක ඈ වෙත ගියේය.
2සම්සොන් මෙහි ඇවිත් ඉන්නේය කියා ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔව්හු ඔහු වටකොට ඔහු අල්ලන්ට නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝය. ඔව්හු කථාකොට: පහන්වනතුරු සිටියාවේ, එවිට ඔහු මරන්නෙමුව කියා රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය.
3සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ, මධ්‍යම රාත්‍රියේ නැගිට, නුවර දොරටුවේ දොරවලුත් උළුවහු කණු දෙකත් අගුල් ආදියත් සමඟ උගුලා කරපිට තබාගෙන, හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය.
4ඉන්පසු ඔහු සොරෙක් මිටියාවතෙහි සිටියාවූ දෙලීලා නම් ස්ත්‍රියෙකුට ආදරේවිය.
5පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට අවුත් ඈට කථාකොට: ඔබ ඔහු පොළඹවාගන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහුට පීඩාකිරීමට ඔහු බඳින පිණිස ඔහු දමනයකරන්ට පුළුවන් කොහොමද කියාත් දැන ගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එකොළොස් සියයක් බැගින් ඔබට දෙන්නෙමුයයි කීවෝය.
6දෙලීලා: ඔබේ මහත් ශක්තිය තිබෙන්නේ කොතනද කියාත් පීඩාකරන පිණිස ඔබ බඳින්ට පුළුවන් මොකකින්ද කියාත් මට කියාන්නැයි සම්සොන්ට කීවාය.
7සම්සොන්ද: නොවේලාපු අලුත් රෑන් සතකින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය.
8එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු නොවේලාපු අලුත් රෑන් සතක් ඈට ගෙනක් දුන්නෝය, ඈ එයින් ඔහු බැන්දාය.
9මනුෂ්‍යයෝ ඈ වෙත ඇතුල්ගෙයි සැඟවී බලාගන සිටියෝය. ඈ වනාහි: සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. එවිට ඔහු හණ නූලක් ගින්නේ තැවරෙන විටම කැඩෙන්නාක් මෙන් ඒ රෑන් කඩාදැමීය. මෙසේ ඔහුගේ ශක්තිය දැනනොගන්නා ලද්දේය.
10ඔබ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් ඔබ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලීලා සම්සොන්ට කීවාය.
11ඔහුද: කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය.
12එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන එයින් ඔහු බැඳ: සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. මනුෂ්‍යයෝද ඇතුල් ගෙයි සැඟවී බලා සිටියෝය. ඔහු ඒවා නූල් පටක් මෙන් තමාගේ අත්වලින් කඩාදැමුවේය.
13දෙලීලා සම්සොන්ට කථාකොට: ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහිය. ඉතින් ඔබ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට ක��යන්නැයි කීවාය. ඔහුද: ඔබ මාගේ හිසේ සැඩපළු සත නූල්වියමනත් සමඟ ගෙතුවොත් පුළුවනැයි ඈට කීවේය.
14ඈද ඇණයෙන් ඒවා තදකොට: සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්ට එත්යයි කීවාය. ඔහු නින්දෙන් පිබිද යොත් දණ්ඩේ ඇණය නූල් වියමනත් සමඟ ගළවා දැමුවේය.
15එවිට ඈ: ඔබේ සිත මා වෙත නැතිකොට ඔබ මට ආදරේය කියා කියන්නේ කොහොමද? ඔබ දැන් තුන්වරක්ම මා රැවටුවෙහිය, ඔබේ මහත් ශක්තිය තිබෙන තැන මට නොකීවෙහියයි ඔහුට කීවාය.
16ඉන්පසු ඈ සැමදාම ඇගේ වචනවලින් ඔහුට බලකරමින් ඔහු මැරෙන තරම් ඔහුට කරච්චල්කළ කල්හි,
17ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල ඈට දැන්වූවාය: මා මව්කුස පටන් දෙවියන්වහන්සේට කැපවූ නාශරියයෙක් බැවින් දැළිපිහියක් මාගේ හිසට ළංනොකරන ලද්දේය. මාගේ හිස බූගෑවොත් මාගේ ශක්තිය මාගෙන් නැතිවී යන්නේය, මාද බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවාය.
18ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල තමාට කී බව දෙලීලා දැන පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන් අඬගස්වමින්: මේ වතාවේ එන්න, මක්නිසාද ඔහු තමාගේ සිතේ තිබෙන සියල්ල මට කියා තිබේයයි දන්වා ඇරියාය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ අත්වල මුදල් ඇතුව ඈ ළඟට ආවෝය.
19ඈ තමාගේ උකුළ පිට ඔහු නිදන්ට සලස්වා, මිනිහෙකු කැඳවා, ඔහුගේ හිසේ සැඩපළු සත කපාදමා, ඔහුට පීඩාකරන්ට පටන්ගත්තාය, ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේය.
20ඈද: සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය.
21නුමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගන ඔහුගේ ඇස් උගුලාදමා, ගාසාට ගෙනගොස් ඔහු පිත්තල දම්වැල්වලින් බැන්දෝය; ඔහු හිරගෙයි ඇඹරුවේය.
22එසේ වුවත් ඔහුගේ හිසකේ කපාදැමුවායින් පසු ඒවා නැවත වැඩෙන්ට පටන්ගත්තේය.
23පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ දෙවිවූ දාගොන්ට මහත් පූජාවක් ඔප්පුකරන්ටත් ප්‍රීති වෙන්ටත් රැස්වූහ. මක්නිසාද: අපේ දෙවියෝ අපේ සතුරාවූ සම්සොන් අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය.
24සෙනඟ ඔහු දුටු කල තමුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝය. මක්නිසාද: අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළාවූ, අපෙන් බොහෝ දෙනෙකු මැරුවාවූ අපේ සතුරා අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය.
25ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්ට සම්සොන්ට අඬගසන්නැයි කියා ඔව්හු හිරගෙයින් ඔහු අඬගස්වාගත්තෝය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔව්හු කුළුනු කණු අතරේ ඔහු සිටෙවුවෝය.
26සම්සොන් තමාගේ අත අල්වා සිටි යෞවනයාට කථාකොට: මේ ගෘහය පිහිටා තිබෙන කුළුනුවලට මා හාන්සිවෙන පිණිස ඒවායේ මාගේ අත තබා බලන්ට ඉඩහරින්නැයි කීවේය.
27ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතිවරුත් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සම්සොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය.
28සම්සොන් ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය.
29එවිට සම්සොන් ගෘහය ඉසුලුවාවූ මැද කුළුනු දෙක එකක් දකුණතින්ද එකක් වමතින්ද නමමින්:
30පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වායි කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරුවුණේය; එවිට ගෘහය අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනඟ පිට වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියදී මැරූ අයට වඩා ඔහුගේ මරණයේදී මැරූ අය වැඩි වූහ.
31එවිට ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ මුළු පවුලද ගොස් ඔහු ගෙනැවිත් ශොරාද එෂ්තායොල්ද අතරේ තිබෙන ඔහුගේ පියවූ මානෝවාගේ සොහොන්පෙළ් තැන්පත්කළෝය. ඔහු විසි අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේය.