Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
13 verses
1එප්‍රායිම් කඳු රටේ මීකා නම් මනුෂ්‍යයෙක් සිටියේය.
2ඔහු තමාගේ මවුට කථාකොට: ඔබෙන් ගන්නා ලද්දාවූ, ඔබ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද වේවයි කීවාය.
3ඔහු තමාගේ මවුට රිදී එකොළොස් සියය නැවත දුන්නේය, එවිට ඔහුගේ මවු කථාකොට: කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදීමට මම මේ රිදී මාගේ අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් ස්වාමීන්වහන්සේට සැබවින්ම කැපකෙළෙමි. දැන් ඒවා නැවත ඔබට දෙමියි කීවාය.
4ඔහු ඒ මුදල නැවත තමාගේ මවුට දුන් කල ඔහුගේ මවු රිදී දෙසියයක් රැගෙන කම්කරුවාට දුන්නාය, ඔහු එයින් කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදුවේය. ඒවා මීකාගේ ගෙයි තිබුණේය.
5මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.
6ඒ දවස්වල ඉශ්රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක්කෙනා තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය.
7යුදා පෙළපතට අයිතිවූ, යුදයේ බෙත්-ලෙහෙමේ සිට ආවාවූ එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේය, ඔහු එහි වාසයකෙළේය.
8ඒ මනුෂ්‍යයා තමාට සිටීමට තැනක් සොයන පිණිස යුදයේ බෙත්-ලෙහෙම් නුවරින් පිටත්ව ගොස් ගමන්කරනුයේ, එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙදරට පැමුණුණේය.
9ඔබ කොතැනින් ආවාදැයි මීකා ඔහුගෙන් ඇසීය. ඔහුද: මම යුදයේ බෙත්-ලෙහෙමේ ලෙවීයයෙක්ය, මට සිටීමට තැනක් සොයා යමියි කීවේය.
10එවිට මීකා: මා සමඟ වැස මට පිය කෙනෙක්ද පූජකයෙක්ද වෙන්න, මම ඔබට අවුරුදුපතා රිදී දසයක් හා ඇඳුම් කුට්ටමකුත් කෑමත් දෙන්නෙමියි ඔහුට කීවේය.
11එවිට ලෙවීයයා ඇතුල්වී, ඒ මනුෂ්‍යයා සමඟ වසන්ට සතුටු විය; ඒ තරුණයා ඔහුට ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් වූයේය.
12මීකා වනාහි ඒ ලෙවීයයා පත්කෙළේය, තරුණයා මීකාට පූජකයෙක් වී ඔහුගේ ගෙයි විසීය.
13එවිට මීකා: ලෙවීයයෙකු මට පූජකකමට සිටින නිසා ස්වාමීන්වහන්සේ මට යහපත කරනසේකැයි දැන් දනිමියි කීවේය.