Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
20 verses
1ආරොන්ගේ පුත්‍රයෝවූ නාදාබ් සහ අබිහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණනොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.
2තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය, එසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය.
3එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.
4එවිට මෝසෙස් ආරොන්ගේ බාල පියා වන උසියෙල්ගේ පුත්‍රයන්වූ මිෂායෙල් හා එල්ශාඵාන් කැඳවා: ඔබ සැම ළඟාවී ඔබ සැමගේ සහෝදරයන් ශුද්ධ ස්ථානය ඉදිරියෙන් කඳවුරෙන් පිටතට උස්සාගන යන්නැයි ඔවුන්ට කීවේය.
5ඔව්හු මෝසෙස් කී හැටියට ළඟාවී ඒ අය ඔවුන්ගේ දික් යට ඇඳුම් පිටින් කඳවුරෙන් පිටතට උස්සාගෙන ගියෝය.
6මෝසෙස් ආරොන්ටත් ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට හා ඊතාමාර්ටත් කථාකොට: ඔබ සැම නොනස්නා පිණිසද උන්වහන්සේ මුළු සභාව කෙරෙහි උදහස් නොවන පිණිසද ඔබ සැමගේ හිසකේ විදහා නොගන්න, ඔබ සැමගේ වස්ත්‍ර ඉරානොගන්න. එහෙත් ඔබ සැමගේ සහෝදරයෝ වන මුළු ඉශ්රායෙල් වංශය ස්වාමීන්වහන්සේ ඇවිලෙවු දැවීම ගැන වැලපෙත්වා.
7ස්වාමීන්වහන්සේගේ ආලේප තෛලය ඔබ සැම පිට තිබෙන නිසා, ඔබ සැම නොනස්නා පිණිස, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොගොස් සිටින්නැයි කීවේය. ඔව්හු මෝසෙස්ගේ වචනය ලෙස කළෝය.
8ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට:
9සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන කල ඔබවත් ඔබේ පුත්‍රයෝවත් නොනසින පිණිස මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් පානයනොකරන්න.
10ඔබ සැම විසින් ශුද්ධ දේ සහ අකැප දේ අතරෙහිත් අපවිත්‍ර දේ සහ පවිත්‍ර දේ අතරෙහිත් වෙනසක් කරන පිණිසද,
11ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල් පුත්‍රයන්ට කියෙවූ සියලු පනත් ඔබ සැම ඔවුන්ට උගන්වන පිණිසද ඒක ඔබ සැමගේ පරම්පරාවල සදාකාල නියෝගයක් වන්නේයයි කීසේක.
12මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.
13ස්වාමීන්වහන්සේට ගින්න��න් කළ පූජාවලින් එය ඔබේද ඔබේ පුත්‍රයන්ගේද නියම කොටස වන නිසා එය ශුද්ධවූ තැනකදී කන්න. මක්නිසාද එසේ මට අණකරනලද්දේය.
14ඔබද ඔබ සමඟ ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද තේව ළැපැත්ත සහ එසවීමේ කළවය පවිත්‍ර තැනකදී කෑ යුතුය. මක්නිසාද ඒවා ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් ඔබේද ඔබේ පුත්‍රයන්ගේද නියම කොටස කොට දෙන ලද්දේය.
15ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවකට තේවකරන පිණිස ඔසවන කළවයද තේව ළැපැත්තද ගින්නෙන් කළ පූජාව වන තෙල සමඟ ගෙනෙත්වා. ඒක ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ඔබටද ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටද සදාකාලේටම අයිතිවන්නාවූ කොටසක්යයි කීවේය.
16මෝසෙස් පාප පූජාවේ එළුවා ඕනෑකමින් සෙවීය, බලව, ඒකා පුලුස්සාදමා තිබුණේය. ඔහු ඉතිරිව සිටිය ආරොන්ගේ පුත්‍රයන් වූ එලෙයාසර්ද ඊතාමාර්ද කෙරෙහි උදහස්ව:
17ඔබ සැම පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් ඔබ සැම සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමඟිකමක් කරන පිණිසද උන්වහන්සේ එය ඔබ සැමට දී තිබේ.
18බලව, ඒකේ ලේ ශුද්ධ ස්ථානය ඇතුළට නොගෙනෙන ලද්දේය. මා අණකළ ලෙස ඒක සැබවින් ශුද්ධ ස්ථානයෙහිදී ඔබ සැම විසින් කෑ යුතුව තිබුණේයයි කීය.
19ආරොන් මෝසෙස්ට කථාකොට: ඔව්හු මේ දවසෙහි තමුන්ගේ පාප පූජාව සහ දවන පූජාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකළෝය; නුමුත් මෙයාකාර දේ මට සිද්ධවී තිබේ. ඉදින් මම පාප පූජාව අද කෑවෙම් නම් ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව පෙනේදැයි කීවේය.
20මෝසෙස් ඒ ඇසූ කල එය යහපත් බව ඔහුට පෙනුණේය.