Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1තවද අටවෙනි දින මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්රයන්ද ඉශ්රායෙල් වැඩිමහල්ලන්ද කැඳවා ආරොන්ට කථාකොට:
2පාප පූජාවක් පිණිස කැලලක් නැති එළවස්සෙක්ද දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවෙක්ද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන් ඔප්පුකරන්න.
3ඔබ ඉශ්රායෙල් පුත්රයන්ට කථාකරමින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකරන්ට පාප පූජාවක් පිණිස එළුවෙක්ද දවන පූජාවක් පිණිස අවුරුද්දක් පිරුණු කැලලක් නැති එළවස්සෙක් හා බැටළු පැටවෙක්ද,
4ශාන්ති පූජාව පිණිස ගොනෙක්ද බැටළුවෙක්ද තෙල් මිශ්රවූ ආහාර පූජාවක්ද ගෙනෙන්න. මක්නිසාද අද ස්වාමීන්වහන්සේ ඔබ සැමට පෙනෙනසේකැයි කියන්නැයි කීවේය.
5ඔව්හු මෝසෙස් අණකළ දේ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ගෙනාවෝය. මුළු සභාවද ළඟට අවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියාය.
6මෝසෙස්ද: ඔබ සැම විසින් කළ යුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය. එවිට ස්වාමීන්වහන්සේගේ තේජස ඔබ සැමට පෙනෙන්නේයයි කීය.
7මෝසෙස් ආරොන්ට කථාකොට: ඔබ පූජාසනයට ළඟාවී ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ඔබේ පාප පූජාවද ඔබේ දවන පූජාවද පූජාකොට ඔබ උදෙසාත් සෙනඟ උදෙසාත් සමඟිකමක් කරන්න. සෙනඟගේ පූජාව පූජාකොට ඔවුන් උදෙසා සමඟිකමක් කරන්නැයි කීවේය.
8එවිට ආරොන් පූජාසනයට ළඟාවී තමා උදෙසා වූ පාප පූජාවේ එළවස්සා මැරුවේය.
9ආරොන්ගේ පුත්රයෝද ලේ ඔහු ළඟට ගෙනාවෝය. ඔහු තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා පූජාසනයේ අංවල ගා පූජාසනය මුල ලේ වත්කෙළේය.
10එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ හැටියට තෙලද වකුගඩුද පාප පූජාවේ අක්මාවේ දැලද පූජාසනය පිට දැවීය.
11මාංසයද හමද ඔහු කඳවුරෙන් පිටදී ගින්නෙන් පුලුස්සා දැමුවේය.
12තවද ඔහු දවන පූජාවේ සතා මැරුවේය; ආරොන්ගේ පුත්රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට වටේට ඉස්සේය.
13ඔව්හු දවන පූජාව කොට්ඨාස වශයෙන් හිසත් ඇතුළුව ඔහුට රැගෙන දුන්නෝය. ඔහු ඒවා පූජාසනය පිට දැවුවේය.
14ඔහු අතුණුද කකුල්ද සෝදා පූජාසන මතුයෙහි දවන පූජාව පිට දැවුවේය.
15ඔහු සෙනඟගේ පූජාව ගෙනැවිත් සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා රැගෙන මරා පළමු එකා මෙන් පාපය නිසා ඔප්පුකෙළේය.
16ඔහු දවන පූජාවද ගෙනැවිත් නියමය ලෙස එය ඔප්පුකෙළේය.
17ඔහු ආහාර පූජාව ගෙන��විත් එයින් අතපුරා රැගෙන උදයේ දවන පූජාව හැර ඒවාත් පූජාසනය පිට දැවුවේය.
18ඔහු සෙනඟ උදෙසා වූ ශාන්ති පූජාව වන ගොනාත් බැටළුවාත් මැරුවේය. ආරොන්ගේ පුත්රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට හාත්පසින් ඉස්සේය.
19ඔව්හු ගොනාගේ තෙලද බැටළුවාගේ තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද වකුගඩුද අක්මාවේ දැලද ගෙනවුත්, තෙල ළැපැත්ත පිට තැබුවෝය,
20ඔහු තෙල පූජාසනය පිට දැවුවේය.
21මෝසෙස් අණකළ ලෙස ආරොන් තේව පූජාවක් පිණිස ළැපැත්ත හා දකුණු කළවයද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව කෙළේය.
22ආරොන් සෙනඟ දෙසට තමාගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකොට පාප පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔප්පුකළ ස්ථානයෙන් බැස්සේය.
23මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව පිටට අවුත් සෙනඟට ආශීර්වාද කළෝය. එවිට ස්වාමීන්වහන්සේගේ මහිමය මුළු සෙනඟට පෙනුණේය.
24ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.