Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
55 verses
1ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කථාකොට කියනසේක්:
2ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න-මා විසින් ඔබ සැමට දෙන දේශයට ඔබ සැම පැමිණි කල දේශය ස්වාමීන්වහන්සේට සබතක් පවත්වන්නීය.
3සාවුරුද්දක් ඔබේ කෙත වපුරන්න, සාවුරුද්දක් ඔබේ මිදිවැල් කප්පාදුකොට එහි ඵල එක්කරගන්න;
4එහෙත් සත්වෙනි අවුරුද්ද ස්වාමීන්වහන්සේට පවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේය. ඔබේ කෙත නොවපුරන්න, ඔබේ මිදිවැල් කප්පාදු නොකරන්න.
5ඔබේ ගොයමින් ඉබේම හටගන්න ඒවා කපා නොගන්න, කප්පාදු නොකළ ඔබේ මිදිවැළේ වලු රැස්කර නොගන්න. එය දේශයට ගරුමය නිවාඩුවේ අවුරුද්දක් වන්නේය.
6දේශයේ සබත් ඔබ සැමට එනම් ඔබටත් ඔබේ මෙහෙකරුවාටත් ඔබේ මෙහෙකාරීටත් ඔබේ කුලීකාරයාටත් ඔබ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය;
7එහි මුළු වර්ධනය ඔබේ ගවයන්ටත් ඔබේ දේශයෙහි සිටින මෘගයන්ටත් ගොදුරු පිණිස වන්නේය.
8අවුරුදුවල සත් සබතක් ඔබට ගණන්කර ගන්න, එනම් සත් වරක් සත් අවුරුද්දක්ය; එවිට අවුරුදුවල සත් සබතක දවස් එනම් හතළිස් නව අවුරුද්දක් ඔබට වන්නේය.
9පසුව සත්වෙනි මාසයේ දසවෙනි දින හොරණෑ ශබ්දය සෑම තැනම පවත්වන්න; සමඟිකමක් කිරීමේ දවසේදී ඔබ සැමගේ දේශය මුළුල්ලේ හොරණෑව පිඹපල්ලා.
10එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය ඔබ සැමට ජුබිලියක් වන්නේය; එකල ඔබ සැම එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය.
11ඒ පනස්වෙනි වර්ෂය ඔබ සැමට ජුබිලියක් වන්නේය. ඒ කාලයෙහි වපුරන්ටවත් ඉබේම හටගන්න ඒවා කපාගන්ටවත් කප්පාදු නොකළ මිදි වැළෙන් ඵල නෙලාගන්ටවත් යුතු නැත.
12මක්නිසාද එය ජුබිලියක්ය; ඒක ඔබ සැමට ශුද්ධවන්නේය. ඒකේ අස්වැන්න කෙතෙන්ම ගෙන කන්න.
13ඒ ජුබිලි වර්ෂයෙහිදී ඔබ සැම එකිනෙකා තම තමාගේ උරුමයට නැවත පැමිණිය යුතුය.
14ඔබේ අසල්වාසියාට කිසිවක් වික්කොත් නොහොත් ඔබේ අසල්වාසියා අතින් මිලේට ගත්තොත් ඔවුනොවුන්ට අයුතුකම් නොකරන්න.
15ජුබිලි වර්ෂයට පසුව තිබෙන අවුරුදු ගණන හැටියට ඔබේ අසල්වාසියාගෙන් මිලේට ගන්න, අස්වනු ලැබෙන අවුරුදු ගණන හැටියට ඔහු ඔබට විකිණිය යුතුය.
16අස්වැන්න ලැබෙන ප්‍රමාණයට ඔහ��� ඔබට ඒවා විකුණන නිසා, අවුරුදුවල වැඩිකමේ ප්‍රකාරයට එහි මිල ගණන වැඩිකළ යුතුය, අවුරුදුවල අඩුකමේ ප්‍රකාරයට එහි මිල ගණන අඩුකළ යුතුය.
17එබැවින් ඔවුනොවුන්ට අයුතුකම් නොකොට, ඔබේ දෙවියන්වහන්සේට භය ඇතුව සිටින්න. මක්නිසාද මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
18එබැවින් මාගේ පනත් ඉෂ්ටකොට, මාගේ විනිශ්චයයන් පවත්වා, ඒවා රක්ෂාකරන්න; එවිට ඔබ සැම දේශයෙහි සුවසේ වාසයකරනවා ඇත.
19දේශය තමාගේ ඵලය දෙන්නීය, ඔබ සැම තෘප්තියට පැමිණෙනතෙක් කා එහි සුවසේ වාසයකරන්නහුය.
20ඉදින් අප විසින් වපුරන්නේවත් අපේ අස්වැන්න රැස්කරගන්නේවත් නැත්නම් සත්වෙනි අවුරුද්දේ කුමක් කමුදැයි ඔබ සැම අසනවානම් මෙසේ කියමි.
21හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය ඔබ සැම කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි.
22එසේ ඔබ සැම අටවෙනි අවුරුද්දේ වපුරා පරණ ඵලයෙන් කන්නහුය; නවවෙනි අවුරුද්දේ ඵල ලැබෙන තුරුම පරණ ඵල කන්නහුය.
23දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. ඔබ සැම වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.
24ඔබ සැමට උරුමවෙන මුළු දේශයෙහි බිම් මුදාගන්ට ඔබ සැම ඉඩඇරිය යුතුය.
25ඔබේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය.
26එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්,
27ඔහු වික්ක දා පටන් අවුරුදු ගණන්කොට වැඩිව තිබෙන මුදල් ඒක මිලේට ගත් තැනැත්තාට නැවත දී තමාගේ උරුමයට දෙවනු පැමිණේවා.
28එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.
29මනුෂ්‍යයෙක් පවුරු ඇති නුවරක තිබෙන ගෙයක් වික්කොත් එය වික්ක තැන් පටන් සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී ඒක මුදාගත හැකි වන්නේය; අවුරුද්දක් තුළේම එය මුදාගන්ට ඔහුට බලය තිබේ.
30සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී එය මුදනු නොලැබුවොත් පවුරු ඇති නුවර තිබෙන ගේ මිලේට ගත් තැනැත්තාට එය ඔහුගේ පරම්පරාවල නිරන්තර උරුමයක් වන්නේය. එය ජුබිලි වර්ෂයෙහිදී ආපසු නොයන්නේය.
31එහෙත් වටකරින් පවුරු නැති ගම්වල ගෙවල් දේශයේ කෙත් සමඟ ගණන්ගනු ලබන්නේය. ඒවා මුදාගත හැකිවන්නේය, ජුබිලි වර්ෂයෙහිදී ඒවා ආපසු යන්නෝය.
32එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය.
33ලෙවීවරුන්ගෙන් කවරෙක්වත් මිදුවොත් විකුණනලද ගෙයද ඔහුගේ උරුම නුවරද ජුබිලි වර්ෂයේදී ආපසු යන්නේය. මක්නිසාද ලෙවීවරුන්ගේ නුවරවල ගෙවල් ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ගේ උරුමයය.
34එහෙත් ඔවුන්ගේ නගරබද ප්‍රදේශයේ කෙත් විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්ය.
35ඔබ වෙත ඔබේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු ඔබ වෙත වාසයකෙරේවා.
36ඔබේ සහෝදරයා ඔබ වෙත රක්ෂාවෙන පිණිස පොළීවත් ලාභයක්වත් ඔහුගෙන් නොගෙන ඔබේ දෙවියන්වහන්සේට භයව සිටින්න.
37ඔබේ මිල පොළියටවත් ඔබේ ආහාර ලාභ ලබන පිණිසවත් ඔහුට නොදිය යුතුය.
38මම වනාහි කානාන් දේශය ඔබ සැමට දී ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන පිණිස ඔබ සැම මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
39ඔබ වෙත ඔබේ සහෝදරයා දිළිඳු බවට පැමිණ ඔබට තමාම වික්කොත් ඔහුගෙන් දාසයෙකුගේ වැඩ නොගත යුතුය.
40කුලීකාරයෙකු මෙන්ද විදේශියෙකු මෙන්ද ඔහු ඔබ වෙත සිටිමින් ජුබිලි වර්ෂය දක්වා ඔබට මෙහෙකෙරේවා.
41එකල ඔහුද ඔහු හා සමඟ ඔහුගේ දරුවෝද ඔබ වෙතින් ගොස් තමාගේ පෙළපතටත් තමාගේ පියවරුන්ගේ උරුමයටත් නැවත පැමිණෙත්වා.
42මක්නිසාද ඔව්හු මිසර දේශයෙන් මා විසින් ගෙනෙනලද මාගේ මෙහෙකරුවෝය. දාසයන් මෙන් ඔවුන් විකුණනු නොලැබිය යුතුය.
43තදකමින් ඔහු කෙරෙහි අධිපතිකම් නොකොට ඔබේ දෙවියන්වහන්සේට භය වෙන්න.
44ඔබට ඇතිවන්නාවූ දාස දාසීන් ගැන නම්, ඔබ සැම වටකරින් සිටින ජාතීන්ගෙන්ම දාස දාසීන් මිලේට ගත යුතුය.
45ඇරත් ඔබ සැම අතරෙහි විදේශීව සිටින්නාවූ අන් රට වැසියන්ගේ දරුවන්ගෙන්ද ඔවුන්ට ඔබ සැමගේ දේශයෙහිදී උපදින්නාවූ ඔබ සැම ළඟ සිටින ඔවුන්ගේ පවුල්වලින්ද මිලේට ගන්න. ඔවුන් ඔබ සැමගේ උරුමයක් කොට තබාගන්ට පුළුවන.
46ඔබ සැමට පසුව ඔබ සැමගේ දරුවන්ටද උරුමයක් කොට ඔවුන් හිමිකර දෙන්ට පුළුවන; ඔවුන් අතරෙන් සදාකාලේටම ඔබ සැමගේ දාසයන් ලබාගත හැකිය. එහෙත් ඔබ සැමගේ සහෝදරයන්වූ ඉශ්රායෙල් පුත්‍රයන් කෙරෙහි එනම් එක එකා තමතමාගේ සහෝදරයා කෙරෙහි තදකමින් අධිපතිකම් නොකළ යුතුය.
47ඔබ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ කෙනෙක් පොහොසත්වෙන්ටත් ඔහු වෙත සිටින ඔබේ සහෝදරයෙක් දිළිඳුව ඔබ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ අයට හෝ විදේශියාගේ පවුලේ කෙනෙකුට හෝ විකුණනු ලබන්ටත් යෙදුණොත්,
48ඔහු විකුණූ පසු නැවත මුදනු ලැබිය හැකිය; ඔහුගේ සහෝදරයන්ගෙන් එක් කෙනෙකුට ඔහු මුදාගත හැකිය.
49ඔහුගේ මවුගේවත් පියාගේවත් සහෝදරයාට හෝ මවුගේවත් පියාගේවත් සහෝදරයාගේ පුත්‍රයාට හෝ ඔහුගේ පවුලට ළඟ නෑයින්ගෙන් කෙනෙකුට හෝ ඔහු මුදාගන්ට පුළුවන; නොහොත් ඔහු ධනවත් වන්නේනම් තමාම මුදාගන්ට හැකිවන්නේය.
50ඔහු මිලේට ගත් තැනැත්තා සමඟ විකුණනු ලබන අවුරුද්ද පටන් ජුබිලි අවුරුද්ද දක්වා ගණන්බලාවා. ඔහුගේ විකිණීමේ මිල ඒ අවුරුදු ගණන හැටියට වන්නේය; ඔහු පඩියට වැඩකරන්නෙකුගේ කාලය ලෙස ඔහු සමඟ සිටීවා.
51බොහෝ අවුරුදු ඉතුරුව තිබේනම් ඒවායේ හැටියට තමාගේ මිදීමේ මිලය තමා විකුණනු ලැබූ මිලයෙන් නැවත ගෙවිය යුතුය.
52ජුබිලි අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන්නේ අවුරුදු ස්වල්පයක් නම් ඔහු සමඟ ගණන බලා තමාගේ අවුරුදුවල හැටියට තමාගේ මිදීමේ මිල නැවත දේවා.
53අවුරුද්දෙන් අවුරුද්ද පඩියට වැඩකරන්නෙකු මෙන් ඔහු ඒ අය වෙත සිටීවා. ඒ අය ඔබ ඉදිරිපිට ඔහු කෙරෙහි තද ලෙස අධිපතිකම් නොකෙරේවා.
54මේ අන්දම්වලින් ඔහු මුදනු නොලබන්නේනම්, ඔහු සහ ඔහු සමඟ ඔහුගේ දරුවෝද ජුබිලි අවුරුද්දේ නිදහස්ව යන්නෝය.
55මක්නිසාද ඉශ්රායෙල් පුත්‍රයෝ මාගේ මෙහෙකරුවෝය; ඔව්හු මා විසින් මිසර දේශයෙන් ගෙනාවාවූ මාගේ මෙහෙකරුවෝය. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.