Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
46 verses
1රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස ඔබ සැමගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
2ඔබ සැම මාගේ සබත් රක්ෂාකළ යුතුය, මාගේ ශුද්ධස්ථානයට ගෞරව කළ යුතුය. මම ස්වාමීන්වහන්සේය.
3ඔබ සැම මාගේ පනත් ලෙස හැසිර මාගේ ආඥාවන් රක්ෂාකරමින් ඒවා පවත්වන්නහු නම්,
4මම නියම සෘතුවෙහි ඔබ සැමගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය.
5ඔබ සැමගේ ගොයම් මඩින කාලය මුද්‍රිකඵල නෙළන කාලය දක්වා පවත්නේය, මුද්‍රිකඵල නෙළන කාලය වපුරන කාලය දක්වා පවත්නේය. ඔබ සැම සෑහෙන්ට කෑම කා ඔබ සැමගේ දේශයෙහි සුරක්ෂිතව සිටින්නහුය.
6ඔබ සැම නිදාගන්න කල කිසිවෙක් ඔබ සැම භය නොගන්වන ලෙස දේශයෙහි සමාදානය දෙන්නෙමි. දේශයෙන් චණ්ඩ මෘගයන් පහකරන්නෙමි, කඩුවද ඔබ සැමගේ දේශය මැදින් නොයන්නේය.
7ඔබ සැම ඔබ සැමගේ සතුරන් එළවන්නහුය, ඔව්හු ඔබ සැම ඉදිරියෙහි කඩුවෙන් වැටෙන්නෝය.
8ඔබ සැමගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද ඔබ සැමගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ ඔබ සැමගේ සතුරෝ ඔබ සැම හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය.
9මම ඔබ සැම සලකා බෝකොට වැඩිකරන්නෙමි; මාගේ ගිවිසුම ඔබ සැම සමඟ පිහිටුවන්නෙමි.
10ඔබ සැම බොහෝ කල් රැස්කර තිබුණු පරණ දේ කන්නහුය, අලුත් දේ කන පිණිස පරණ දේ පහකරන්නහුය.
11මමද මාගේ මණ්ඩපය ඔබ සැම අතරෙහි පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද ඔබ සැම පිළිකුල් නොකරන්නේය.
12මම ඔබ සැම අතරෙහි හැසිර ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔබ සැම මාගේ සෙනඟ වන්නහුය.
13මම වනාහි ඔබ සැම මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් ඔබ සැම පිටතට ගෙනාවාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මම ඔබ සැමගේ වියගහේ බැඳුම් බිඳ ඔබ සැමට කෙලින්ව යන්ට සැලැස්වීමි.
14එහෙත් ඔබ සැම මට ඇහුම්කන් නොදී මේ සියලු ආඥා නොපවත්වා,
15මාගේ පනත් ප්‍රතික්ෂේප කරන්නහුනම්, ඔබ සැමගේ ප්‍රාණය මාගේ විනිශ්චයයන් පිළිකුල්කරන්නේනම්, එසේ මාගේ සියලු ආඥා නොපවත්වා මාගේ ගිවිසුම් කඩකරන්නහුනම්,
16මමද ඔබ සැමට මෙසේ කරන්නෙමි: මම ඔබ සැම කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. ඔබ සැම නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද ඔබ සැමගේ සතුරෝ ඒවා කන්නෝය.
17මම මාගේ මුහුණ ඔබ සැමට විරුද්ධව යොමු කරන්නෙමි, ඔබ සැම ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. ඔබ සැමට වෛරකරන අය ඔබ සැම කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල ඔබ සැම පලායන්නහුය.
18තවද මේ සියල්ල නිසාවත් ඔබ සැම මට ඇහුම්කන් නුදුන්නොත් තව සත් ගුණයක් ඔබ සැමගේ පව් නිසා ඔබ සැමට දඬුවම් කරන්නෙමි.
19මම ඔබ සැමගේ බලයේ උඩඟුකම බිඳින්නෙමි; ඔබ සැමගේ අහස යකඩ මෙන්ද ඔබ සැමගේ භූමිය පිත්තල මෙන්ද කරන්නෙමි.
20එසේ ඔබ සැමගේ ශක්තිය නිකරුණේ වියදම්වන්නේය. මක්නිසාද ඔබ සැමගේ දේශය එහි වර්ධනය නොදෙන්නීය, දේශයේ ගස්ද ඵල නොදෙන්නේය.
21ඔබ සැම මට විරුද්ධව හැසිර මට ඇහුම්කන් නොදෙන්නහුනම් මම ඔබ සැමගේ පාපවල හැටියට තව සත් ගුණයක් ඔබ සැමට පීඩා පමුණුවන්නෙමි.
22මම ඔබ සැම අතරට වන මෘගයන් එවන්නෙමි, උන් ඔබ සැමගේ දරුවන් ඔබ සැමගෙන් කොල්ලකන්නෝය, ඔබ සැමගේ ගවයන් විනාශකරන්නෝය; ඔබ සැම ගණනින් අඩුකරන්නෝය; එසේ ඔබ සැමගේ මාර්ග පාළුවන්නේය.
23මේ දේවලින්වත් ඔබ සැම මා කෙරෙහි හරිනොගැසී මට විරුද්ධව හැසුරුණොත්,
24මමත් ඔබ සැමට විරුද්ධව හැසිර ඔබ සැමගේ පාපවල් නිසා සත්ගුණයක් පහරදෙන්නෙමි.
25මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් ඔබ සැම පිටට පමුණුවන්නෙමි; ඔබ සැම ඔබ සැමගේ නුවරවල රැස්ව සිටින කල්හි ඔබ සැම අතරට වසංගතය පමුණුවන්නෙමි; ඔබ සැමද ඔබ සැමගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය.
26මා විසින් ඔබ සැමගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි ඔබ සැමගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. ඔබ සැම කා සෑහීමට නොපැමිණෙන්නහුය.
27ඉදින් ඔබ සැම මේ සියල්ල නිසාවත් මට ඇහුම්කන් නොදී මට විරුද්ධව හැසිරෙන්නහුනම්,
28මම ඔබ සැමට විරුද්ධව උදහසින් හැසිර ඔබ සැමගේ පාපවල් නිසා සත් ගුණයක් ඔබ සැමට දඬුවම් කරන්නෙමි.
29ඔබ සැමද ඔබ සැමගේ පුත්‍රයන්ගේ මාංස කනවා ඇත, ඔබ සැමගේ දූවරුන්ගේ මාංසද කනවා ඇත.
30මම ඔබ සැමගේ උස් තැන් විනාශකොට, ඔබ සැමගේ සූර්ය රූප සිඳදමා, ඔබ සැමගේ දේවරූප කැබලි පිට ඔබ සැමගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද ඔබ සැම පිළිකුල් කරන්නේය.
31මම ඔබ සැමගේ නුවරවල් පාළුවක් කොට ඔබ සැමගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, ඔබ සැමගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
32මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන ඔබ සැමගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය.
33මම ජාතීන් අතරෙහි ඔබ සැම විසුරුවා ඔබ සැම පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. ඔබ සැමගේ දේශය නාස්තියක්ද ඔබ සැමගේ නුවරවල් පාළුවක්ද වන්නේය.
34එකල ඔබ සැමගේ සතුරන්ගේ දේශයෙහි ඔබ සැම සිටින අතර නාස්තිවීමේ කාලය මුළුල්ලෙහි දේශය ඒකේ සබත් කාලවල් භුක්ති විඳිනවා ඇත; එකල දේශය නිවාඩු ලැබ ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනවා ඇත.
35ඔබ සැම එහි වාසයකරද්දී ඔබ සැමගේ සබත් කාලවල ඊට නොලැබුණු නිවාඩුව නටබුන් භාවයේ කාලයෙහිදී ලබනවා ඇත.
36ඔබ සැමගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.
37කඩුව ඉදිරියෙන් දුවන්නාක් මෙන් කිසිවෙකු ලුහු නොබඳින කල ඔව්හු එකිනෙකා පිට හැපී වැටෙන්නෝය. ඔබ සැමගේ සතුරන් ඉදිරිපිට සිටින්ට ඔබ සැමට කිසි බලයක් නැතිවන්නේය.
38ඔබ සැම ජාතීන් අතරෙහි නැතිවන්නහුය, ඔබ සැමගේ සතුරන්ගේ දේශය, ඔබ සැම කා දමන්නීය.
39ඔබ සැමගෙන් ඉතිරිවන අය තමුන්ගේ අපරාධ නිසාත් තමුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසාත් ඔබ සැමගේ සතුරන්ගේ දේශවලදී ක්ෂයවී යනවා ඇත.
40එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා,
41මාත් ඔවුන්ට විරුද්ධව හැසිර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පැමිණෙවු බවද කියා දෙනවා ඇත. එකල්හිවත් ඔවුන්ගේ අචර්මඡේදිත සිත් යටහත්වී ඔව්හු තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,
42මම යාකොබ් සමඟ කළ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; ඊසාක් සමඟ කළ මාගේ ගිවිසුමත් ආබ්‍රහම් සමඟ කළ මාගේ ගිවිසුමත් සිහිකරන්නෙමි;
43දේශයද සිහිකරන්නෙමි. දේශයද ඔවුන් නිසා පාළුව තිබෙන තෙක් ඔවුන් විසින් අත්හරිනු ලැබ එහි සබත් කාලවල් භුක්තිවිඳින්නීය; ඔව්හුද තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝය. මක්නිසාදයත් ඔව්හු මාගේ විනිශ්චයයන් ප්රතික්ෂේපකොට තමුන්ගේ සිතින් මාගේ පනත් පිළිකුල්කළෝය.
44එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
45ඔවුන්ගේ මුතුන් මුත්තන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මිසර දේශයෙන් මා විසින් ගෙනෙන ලද්දාවූ ඒ තැනැත්තන් සමඟ කළ ගිවිසුම මම ඔවුන් උදෙසා සිහිකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.
46ස්වාමීන්වහන්සේ තමන්වහන්සේද ඉශ්රායෙල් පුත්‍රයන්ද අතරේ සීනයි කන්දේදී මෝසෙස් ලවා පිහිටුවනලද පනත්ද විනිශ්චයයන්ද ව්‍යවස්ථාද මේවාය.