Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
35 verses
1මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියාට නුඹ ඇපවී, අන් කෙනෙකු උදෙසා නුඹේ අත් ගසා,
2නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,
3මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න.
4නුඹේ ඇස්වලට නින්දවත් නුඹේ ඇසිපියවලට නිදිබරවත් නොදී,
5දඩයක්කාරයාගේ අතින් තිත්මුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවීයන්න.
6අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න.
7ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්,
8ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.
9අලසය, නුඹ කොපමණ වේලා නිදා ඉන්නෙහිද? නුඹේ නින්දෙන් නුඹ නැගිටින්නේ කොයි වේලාවේද?
10තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි
11කියන නුඹට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
12ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ,
13තමාගේ ඇඟිලිවලින් සංඥාකරන්නාවූ තැනැත්තේ දුර්ජනයෙක්ය, අපරාධකාරයෙක්ය.
14ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි.
15එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.
16ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:
17උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්‍ය,
18දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය,
19මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.
20මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
21ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න.
22නුඹ යන එන විට ඒවා නුඹ ගෙනයන්නේය; නුඹ නිදන කල නුඹ ළඟ රැකවල්කරන්නේය; නුඹ පුබුදින ���ලද නුඹ සමඟ කථාකරන්නේය.
23මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස
24ආඥාව පහනක්ය; උපදේශය එළියක්ය; ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ගයෝය.
25ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඈ නුඹ අසුකරනොගනීවා.
26මක්නිසාද වේශ්‍යා ස්ත්‍රියෙක් නිසා මනුෂ්‍යයෙකුට ඉතුරුවෙන්නේ රොටි කැබෙල්ලක් පමණක්ය. මිථ්‍යාචාරි ස්ත්‍රීද අනර්ඝ ප්‍රාණය අල්ලාගන්ට ලුහුබඳින්නීය.
27මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?
28යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද?
29තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය.
30හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති.
31නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.
32ස්ත්‍රියෙකු හා සමඟ කාමමිථ්‍යාචාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය. එය කරන්නා තමාගේම ප්‍රාණය නාස්තිකරන්නේය.
33තුවාල හා ලජ්ජාව ඔහුට වන්නේය; ඔහුගේ නින්දාවද මැකී නොයන්නේය.
34මක්නිසාද කාම ක්‍රෝධය පුරුෂයෙකු උදහස්කරවන්නේය; පළිගන්න දවසේදී ඔහු කරුණා නොකරන්නේය.
35ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත; නුඹ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටුවෙන්නෙත් නැත.